විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පරිහානිය

විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පරිහානිය

මෙරට විශ්ව විද්‍යාලවල ශාස්ත්‍ර පරිහානිය පිළිබිඹු කෙරෙන සිදුවීමක් පසුගියදා අනාවරණය විය. එනම් පර්යේෂණ සඳහා අධ්‍යයන නිවාඩු සහ ඒ සඳහා නියමිත ප්‍රතිපාදන ද ලබාගෙන විදෙස් ගතවන ආචාර්යවරුන්ගෙන් බහුතරය එම පර්යේෂණ සිදු නොකර "වෙන වෙන" කටයුතු කර ඇති බවය. මෙය ඉතා ශෝචනීය තත්ත්වයකි.

වත්මනෙහි මෙරට විශ්වවිද්‍යාලවල ආචාර්ය උපාධිධාරීන්ගේ හිඟයක් පවතී. දර්ශනශූරී (PhD)උපාධි සහිත මහාචාර්යවරුන් සොයා ගැනීම කළුනික සෙවීමටත් වඩා දුෂ්කර බව සරසවිවල බලධාරීහුම ප‍වසති.

මේ අනුව ශාස්ත්‍රාලයීය මහාචාර්වරුන්ගේ භූමිකාව 'පත්කළ' මහාචාර්යවරුන්ගෙන් සපුරාලීමටද සිදුව තිබේ.

සරසවිවල ශාස්ත්‍රිය පර්යේෂණ ක්‍රියාවලිය ඇණහිටීම එහි ශාස්ත්‍ර‍ පරිහානිය කෙරෙහි බලපායි. එවිට එම සරසවිවලින් අධ්‍යාපනය ලබන විද්‍යාර්ථීන්ගේ දැනුම හා ගවේෂණයද මොට්ට වෙයි. මෙය රටෙහි බුද්ධි ප්‍රබෝධය අඩපණ වීම කෙරෙහිද බලපායි.

මෙහි බලගතුම වරද ඇත්තේ සරසවිවල ආචාර්ය මණ්ඩලයේ බව කිව යුතුය. බඳවා ගැනීමේ පටිපාටිය දූෂිත එකක් වීම නිසා ඉහළම සුදුසුකම් ඇති අය සිටියදී ඊට වඩා අඩු සුදුසුකම් ඇති අය ආචාර්ය මණ්ඩලවලට බඳවා ගැනීම පිළිබඳ චෝදනා නිතර නැඟේ.

මහාචාර්යවරුන් ලෙස උසස්වීම් ලබාදීම සඳහා නියමිත පර්යේෂණ කිසිවක් නොකර සිට අවසානයේ මොනවා හෝ ටිකක් ඉදිරිපත් කර පරිපාලනයේ උදව්වෙන් පට්ටම් ලබාගන්නා පුද්ගලයෝද සිටිත්. ඇතැම් ආචාර්යවරුන් සරසවියෙහි සේවය කළ යුතු කාල සීමාවේද දේශන මඟහැර පොත් වෙළෙඳාම සහ පුද්ගලික පන්ති පැවැත්වීම යනාදී ව්‍යාපාර කටයුතුවල යෙදෙන්නේ ප්‍රසිද්ධියේමය.

මේ වනාහී බරපතළ අන්දමේ වෘත්තිය ආචාර ධර්ම කඩ කිරීමකි. එමෙන්ම නීති විරෝධී ක්‍රියාවකි. මේවා නැවැත්වීම සඳහා බලධාරීන් කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව පෙනේ.

නව පර්යේෂණ සඳහා රජය වෙන් කරන මුදල් කාබාසිනියා කර යහතින් මවු රටට පැමිණෙන ආචාර්යවරුන් විසින් සිදු කරනු ලබන්නේ ජාතික අපරාධයකි. උපාධිධාරියකු බිහි කිරීම සඳහා රජයට වැයවන මුදල් ප්‍රමාණය අනුව බලන විට එම පුද්ගලයා ශාස්ත්‍ර ගවේෂකයකු බවට පත් නොවේ නම් එහි මොකක් හෝ අඩුපාඩුවක් ඇත.

මෙය එක් අතකින් සමස්ත අධ්‍යාපන පරිහානියේම ප්‍රතිඵලයකි. සරසවි ආචාර්යවරුන් ලෙස බඳවා ගනු ලබන්නේ මෙයින් පිරිසකි. මූලික උපාධියේදී පන්ති සාමාර්ථ ලබා ගැනීම හා පශ්චාත් උපාධි ලබා ගැනීම සුදුසුකම් හැටියට අපේක්ෂා කෙරේ. ආචාර්යවරයකු ලෙස සේවයට බැඳීමෙන් පසුව නව පර්යේෂණ කිරීමට වඩා වැඩි නැඹුරුවක් කෙටි මාර්ගවලින් මුදල් උපයා ගැනීම සඳහා දැක්වීම අවාසනාවන්ත තත්ත්වයකි.

මේ පරිහානිය මැනගත හැකි අවස්ථාවක් වන්නේ ලොව විශ්වවිද්‍යාල ප්‍රමිතිය හා උසස් බව අනුව වර්ග කර දමා ඇති නාමාවලියයි.

අපේ රටේ විශ්වවිද්‍යාල පළමු දාහ අතරවත් නැත. මීට දශක කිහිපයකට පෙර පැවතුණේ මීට වඩා ප්‍රශස්ත මට්ටමකි. එකල සරසවි ගුරුවරු වෙනත් ව්‍යාපාර නොකළහ. සරසවියෙන් බැහැර කාලයද ශාස්ත්‍රිය හා සාහිත්‍ය කලා කටයුතු සඳහා යොදා ගත්හ. වත්මනෙහි ඇතැම් ආචාර්යවරු ප්‍රසිද්ධ දැන්වීම්වල තම සුදුසුකම් දක්වා ටියුෂන් මඩුවල ලගිති. ඒවායෙහි සිදුවන විනය විරෝධී ක්‍රියා පිටුපස ඇතැම් ආචාර්යවරුන්ද සිටීම භයානක තත්ත්වයකි.

විශ්වවිද්‍යාලවල ශාස්ත්‍ර පරිහානිය වැළැක්වීමේ එක් පියවරක් වන්නේ පර්යේෂණ සඳහා ලබාගත් මුදල් අවභාවිතාවේ යෙදුණු ආචාර්යවරුන්ට එරෙහිව ආචාරධර්ම කඩකිරීමේ චෝදනාව යටතේ පියවර ගැනීමය. අනෙක් කරුන නම් පර්යේෂණ ක්‍රියාවලිය දිරිගැන්වීමේ වාතාවරණයක් ඇති කිරීමය. මෙරට විශ්වවිද්‍යාලවල ප්‍රමිතිය නැංවීම වක්‍රාකාරයෙන් විදෙස් ධනය ලබා ගැනීමේද මඟකි. ඊට හේතුව එතෙර සිසුන්ද උසස් අධ්‍යාපනය සඳහා ඒවාට ඇතුළත් වීමය. අතීතයෙහි එබඳු ප්‍රවණතාවක් පැවතිණ. මානව ශාස්ත්‍ර විෂයමාලා අධ්‍යයනය විධිමත් කිරීමද කාලීන අවශ්‍යතාවකි.

මාතෘකා