දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම

දූෂණයෙන් තොර දේශපාලන සංස්කෘතියක් ගොඩනැඟීම

දේශපාලනය හුස්ම තරමටම ජීවිතයට සමීපය. එහෙත් මේ වචනය බොහෝ අයගේ සිත්හි ඇති කරන්නේ අප්‍රසාදයකි. ඊට හේතුව දේශපාලන පරිහානියයි. මෙය පොදුවේ රටක් හැටියට දෘශ්‍යමාන වන පරිහානියේ එක් පැතිකඩක් පමණි. එක් අතකින් ලොව ආගම් භක්තිය ඇති රටවල් අතුරින් ප්‍රමුඛම රට බවට පත් වන අතර අනෙක් අතින් සදාචාරමය වශයෙන් පහළම අඩියකට වැටීම විකෘත වූ සමාජ සංවර්ධනයක ප්‍රතිඵලයකි.

දේශපාලනයේ පරිහානිය පෙන්වන එක් සාධකයක් වන්නේ ප්‍රාදේශීය මන්ත්‍රී වරයාගේ පටන් ඉහළ මහජන නියෝජිතයා දක්වා දේශපාලනය කිරීමෙන් කෙටි කලකදී අදෘශ්‍යමාන ධනයකට හිමිකම් කීමය. ඊළඟට විශාල වියදමක් කරමින් නැවත නැවත මැතිවරණවලට තරග කිරීමය. වියදම් කරන අතිවිශාල මුදල් ප්‍රමාණය මෙන් කිහිප ගුණයක් දේශපාලනයෙන්ම උපයා ගන්නා බව පැහැදිලිය.

මැතිවරණවලදී ඡන්දදායකයන් බා ගැනීම සඳහාද මෙයින් කොටසක් වැය කරනු පෙනේ. එහි උච්චතම අවස්ථාව වනුයේ තීරණාත්මක දේශපාලන පෙරළිවලදී මන්ත්‍රීවරුන් බා ගැනීම සඳහාද රහසිගතව අසාමාන්‍ය ධනයක් හුවමාරු වීමය. මේ චෝදනාව එක් දේශපාලන පක්ෂයකට සීමා නොවේ. මෙය පොදු තත්ත්වයකි.

අතීතයෙහි දේශපාලනය මහජන සේවයකි. දේශපාලනයෙන් සමුගන්නා පුද්ගලයා දුප්පතෙකි. ගමන් කළේ පොදු ප්‍රවාහන සේවාවලය. වත්මනෙහි මන්ත්‍රී ධුරය ධනය අදින කෙක්කකි. ඡන්දදායකයාද වඩා කැමති වන්නේ සමාජ බලය හා ධන බලය ඇති පුද්ගලයා තෝරා යැවීමටය. අපේ මන්ත්‍රීතුමා යැයි කටපුරා කීමට කැමති වන්නේද එවන් පුද්ගලයන්ටය. මෙය ඡන්දදාකයාගේද ප්‍රශ්නයකි.

මේ අසෝබන තත්ත්වය වෙනස් කිරීමේ ක්‍රමවේද ඇතත් ඒවා එතරම් ශක්තිමත් නැත.

ඉන් එකක් නම් වත්කම් හා බැරකම් නීතියයි. 1975 අංක 1

දරන පනතින් පිහිටුවන ලද මෙය 1988 හා 1994 දී සංශෝධනයට ලක් විය. මේ නීතිය දේශපාලකයන්ට හා රාජ්‍ය නිලධාරීන්ට අදාළය. ඔවුන් දූෂණයෙන් මුදල් උපයා ගැනීම වැළැක්වීම හා උපයාගත් ධනය හඳුනා ගැනීම එහි අරමුණ විය. එහෙත් මෙය ශක්තිමත්ව පිහිටුවූ නීතියක් නොවේ.

මැතිවරණයකට ඉදිරිපත් වීමට පෙර හෝ දිවුරුම් දීමට අපේක්ෂකයා වත්කම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය. එසේ නොකළ විට පැනවෙන දඩය රුපියල් දහසක් වීම හාස්‍යජනකය. මෑතකදී කැබිනට් පත්‍රිකාවක් මගින් මෙය රුපියල් ලක්ෂය දක්වා වැඩි කරන ලදි.

එහෙත් එය ප්‍රමාණවත් නොවේ. වංචනිකව උපයා ගන්නා දේපළ අනාවරණය කරගැනීමේ යාන්ත්‍රණය විධිමත් නොවේ. අල්ලස් හෝ දූෂණ කොමිසම ස්වාධීන කර ඇතත් පරිවාර ආයතනවලින් එයට ලබෙන සහාය නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රමාණවත් නැත.

අනෙක් අතට නීතිය ක්‍රියාත්මක කරන ආයතන දේශපාලන අනුහසට යට කිරීමද අශිෂ්ට ලක්ෂණයකි.

පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතත්‍රවාදයක් නැති නිසා පක්ෂයේ අරමුදල් පිළිබඳ පාක්ෂිකයා නොදනී. ලංකාවේ සුජාත ආර්ථිකයක් නොමැති නිසා කළු සල්ලි කොපමණ ප්‍රමාණයක් පක්ෂ අරමුදල්වලට බැර වේදැයි පාක්ෂිකයෝ නොදනිති. මේ නිසා දූෂිත දේශපාලන වෙනස් කිරීමේ පළමු පියවර වනුයේ දේශපාලන පාක්ෂිකයා සබුද්ධික රටවැසියකු බවට පත් කිරීමය. මහජන නියෝජිතයන් පත්වන්නේ ජනතා ඡන්දයෙනි. පාලකයා දූෂිතයකු නම් එහි ඇත්ත තේරුම පාලිතයාද දූෂිතයකු බවය. දේශපාලන සදාචාරයක් ඇති නියෝජිතයන් තෝරා ගැනීම සඳහා ඔවුහු තම අගනා ඡන්දය පාවිච්චි නොකරති. කූඹියාගේ හැටියට කැවුත්ත ඇති නිසා යකා තම විමානය තමාට වුවමනා හැටියට තබා ගනී.

මාතෘකා