ඡන්දදායකයාගේ වගකීම

ඡන්දදායකයාගේ වගකීම

සියවස් කිහිපයක් යටත් විජිතයක්ව පැවති ශ්‍රී ලංකාව 1948දී නිදහස ලබන විට රටවැසියන්ගේ ජීවන සංස්කෘතිය බරපතළ වෙනසකට ලක් කිරීමට හේතු වන දායාද කිහිපයක් ලැබී තිබිණ. නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍ය සේවය, ගුවන් විදුලිය, පළමු වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා සර්ව ජන ඡන්ද බලය ලෙස ඒවා ප්‍රමුඛ වෙයි. ආසියාවේ බොහෝ රටවලට නොලැබුණු වටිනා දේවල් හැටියට ඒවා නම් කළ හැකිය. එහෙත් 2018 වසරේදී ආපසු හැරී බලන විට බොහෝ ප්‍රමාද වී එම වරම් ලැබුණු බොහෝ රටවල් දියුණුවේ මංපෙත් ඔස්සේ ඉදිරියට යද්දී අපේ රට එක තැන පල් වෙන තත්ත්වයක් නිර්මාණය විය. ඇතැම් අංශවලින් සතුටු විය හැකි මට්ටමක සිටියද පොදුවේ තිබෙන තත්ත්වය උදම් ඇනිය හැක්කක් නොවේ.

ඡන්දදායකයාගේ භූමිකාව මෙහිදී සාකච්ඡා කළ යුතු වැදගත් මාතෘකාවකි.

ඡන්දදායකයා යනු ඡන්දය භාවිත කිරීමේ නිසි වයස සම්පූර්ණ කළ ඡන්ද නාම ලේඛනයෙහි නම ඇතුළත් වන පුද්ගලයාය. සර්වජන ඡන්ද අයිතිය අනුව 1947 සිට වර්තමානය දක්වා ශ්‍රී ලාංකේය ඡන්දදායකයා මැතිවරණ ගණනාවකදී තම ඡන්දය පාවිච්චි කර ඇත. ඊට පෙර ඡන්ද අයිතිය ලැබී තිබුණේ උගත් සුළුතරයකට පමණි.

ඡන්දදායකයා පක්ෂ දේශපාලන ක්‍රමය තුළ පාක්ෂිකයකු බවටද පත් වෙයි. පවුලක ඡන්දදායකයන් අතර විවිධ පාක්ෂිකයන් සිටිය හැක. එහෙත් පවුලේ සම්මුතීන් අනුව සහජීවනයෙන් ජීවත් වීමට එය බාධාවක් නොවේ. මෙය ගමට, නගරයට මෙන්ම රටටම පොදුය. එහෙත් එම සම්මුතීන් පළුදුව කා කොටා ගන්නා තත්ත්වයට ඡන්දදායකයා පත් වේ නම් එය කනගාටුදායකය. දේශපාලකයන්ගේ වගකීම වන්නේ ඡන්දදායකයා එම තත්වයට පත් නොකිරීමය.

මැතිවරණ පෙරළියකින් පසුව ජයග්‍රාහකයන් පරාජිතයන්ට පහර දීම අද ඊයේ ඇති වූවක් නොවේ. මේ වනාහී අපරිණත දේශපාලන සංස්කෘතියක ප්‍රතිඵලයකි. ඡන්දදායකයකුට පහර දීම සඳහා පොලු මුගුරු රැගෙන යන්නේද තවත් ඡන්දදායකයෙකි. දේශපාලන පාක්ෂිකයන් ලෙස බෙදී ගියද ඡන්ද අයිතිය අතින් ඔවුහු සමාන වෙත්.

ජයග්‍රාහකයාගේ වගකීම විය යුත්තේ මනුෂ්‍යත්වයේ මූලධර්ම මත පරාජිතයා ආරක්ෂා කිරීමය. දේශපාලකයන්ගේ වගකීම විය යුත්තේ විරුද්ධවාදීන්ට රිදවීම සඳහා තම පාක්ෂිකයන් අතකොළු බවට පත් කර ගැනීමෙන් වැළකීමය.

ලංකාවේ පක්ෂ දේශපාලන ක්‍රමය දියුණු පුරවැසි සමාජයක් නිර්මාණය කරනු වෙනුවට ඊට ප්‍රතිපක්ෂව ක්‍රියාත්මක වෙයි. බලය නමැති සාධකය ඉදිරිපිට සියලු ප්‍රජාතන්ත්‍රීය මූලධර්ම අහෝසි වෙයි.

දේශපාලන පක්ෂවලින් පිල් මාරුකිරීම දේශපාලන පක්ෂ ආරම්භ වූ දා පටන් සිදු වෙයි. එවිට එතෙක් තිබූ විරසකකම් නවතී. එහෙත් පාක්ෂිකයෝ ආණ්ඩුව හා මන්ත්‍රීවරයා වෙනුවෙන් මරාගනිති.

ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ අතර එහාට මෙහාට පැනීමේ ප්‍රවනතාව මෑත අවධියෙහි වඩාත් කැපී පෙනෙයි. පැනීමේ හේතු හෝ පනිනා ක්‍රමය සාකච්ඡා කිරීම මෙහිදී අදාළ නොවේ. වැදගත් වන්නේ ඡන්දදායකයාගේ වගකීම තේරුම් ගැනීමය.

පක්ෂ මාරුකිරීම් ඔස්සේ මහජන නියෝජිතයන්ට ප්‍රතිපත්තිමය කරුණු බාධාවක් නොවී එක්ව කටයුතු කළ හැකි නම් ඡන්දදායකයන් ඒ වෙනුවෙන් මරා ගැනීම මෝඩකමකි. ඡන්දදායකයාට ඊට වැඩි වගකීමක් තිබේ. තමා අයත් වන පක්ෂයෙහි අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදය ඉලලා හඬ නැඟීම එක් වගකීමකි. එවැනි ප්‍රජාතන්ත්‍රවාදයක් තිබේ නම් පක්ෂයේ අරමුදල් හා අය වැය පිළිබඳ පාක්ෂිකයාට දැනගැනීමට ලැබේ.

දෙවැන්න, දේශපාලන පක්ෂවලින් දෙන වරදානවලට වහල් නොවී ස්වාධීනව ක්‍රියා කිරීමේ ශික්ෂණය වගා කර ගැනීමය. විශේෂයෙන්ම මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව අල්ලස් ලබා දීමේ තිත තැබිය හැක්කේ ඡන්දදායකයාටය. එය කළ හැක්කේ එවැනි අපේක්ෂකයන් ඡන්දයෙන් පැරදවීමෙනි. මෙහිදී ඡන්දදායකයාගේ සාක්ෂරතාව වැදගත් වේ. එය අකුරු කියවීමේ, ලිවීමේ හැකියාව නොව දේශපාලන සවිඥානකත්වයයි. දේශපාලන පක්ෂවලින් මේ කපේදී ලබා නොදෙන එම විචාරවත් බව ඇති කළ හැක්කේ දේශපාලන අධ්‍යාපනයෙනි. විකල්ප බුද්ධිමතුන්ගේ, සමාජ ක්‍රියාකාරිකයන්ගේ සහ ආගමික නායකයන්ගේ මැදිහත්වීම එහිදී වැදගත් වේ.

මාතෘකා