අර්බුදයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි

අර්බුදයට ඉක්මන් විසඳුමක් අවශ්‍යයි

"මොකද වෙන්නෙ?"

මේ දිනවල කවුරුත් කාගෙනුත් අසන පැනයකි. කා හටවත් පිළිතුරක් නැත. ඇත්තේ අවිනිශ්චිත බව පමණි.

"අපට ඕවයෙන් වැඩක් නෑ. අපි හොයා ගත්තොත් අපි කෑවා"

මෙවැනි පිළිතුරු ඇතැමුන්ට තිබේ. එයින් අදහස් වන්නේ එසේ කියන්නා තමන් නිර්දේශපාලනික පුද්ගලයකු යැයි සිතන බවය. ඔහු හෝ ඇය දේශපාලන පාක්ෂිකයකු නොවන්නට පුළුවන. එහෙත් එම පුද්ගලයාටද දේශපාලන සත්ත්වයකුගේ රැහැන්වලින් මිදී ජීවත් විය නොහැක.

"වවාගෙන කෑම සඳහා" වවන්නට ගිය විටද ඔහු ඒ රැහැනෙහි පැටලේ. එසේ හෙයින් රට තුළ සිදුවන දේවලින් කලකිරී නිහඬ වන මිනිසාද දේශපාලන ප්‍රතිචාර දක්වන්නකු බවට පත් වේ.

පවතින දේශපාලනය සම්බන්ධයෙන් කලකිරෙන පුද්ගලයන් විවිධ අන්තයන්ට ඇදී යා හැකිය. දේශපාලන ප්‍රචණ්ඩත්වයට තුඩු දෙන මෙබඳු චර්යා දරුණු සංවිධානාත්මක කැරලි දක්වා වර්ධනය වූ ආකාරය 1971, 1983 හා 1989 අත්දැකීම් අනුව පැහැදිලි වේ. මේවායෙන් උගත යුතු පාඩම වන්නේ රට තුළ දේශපාලන අරාජික බවක් ඇති නොවන බවට වගබලා ගත යුතු බවය.

ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය ලැබුණේ 1931 වසරේදීය. මෙය ඩොනොමෝර් කොමිසමේ යෝජනාවකි. යෝජනාව ඉදිරිපත් වූයේ 1928දීය. මේ අනුව අවුරුදු 21ට වැඩි රටවැසියෝ ඡන්ද අයිතිය ලැබූහ. 1947දී පළමු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීමෙන් පසුව සර්ව ජන ඡන්ද අයිතිය උරගා බැලෙන මැතිවරණය ක්‍රියාත්මක විය. නියෝජිත මණ්ඩලයේ 101 දෙනාගෙන් 95 දෙනෙකු පත්වූයේ මහජන ඡන්දයෙනි. යම් සංශෝධනවලට ලක් වෙමින් වත්මන දක්වාම ක්‍රියාත්මක වන්නේ සර්වජන ඡන්ද ක්‍රමයයි.

මේ අයිතිය ලැබුණු ආසියාවේ පළමු රට ලංකාවයි. ලෝක මට්ටමින්ද එය විශේෂ සිදුවීමකි.

මේ නිසා ඇතැම් රටවල මෙන් ලේ වැගිරීමකින් තොරව බොහෝ අයිතීන් දිනාගැනීමට ලංකාවට හැකි විය. එහෙත් අපේ රටේ විශේෂත්වය වන්නේ සර්වජන ඡන්ද බලය ක්‍රියාත්මක වන ප්‍රජාතන්ත්‍රවාදී රටක් හැටියට උතුර සහ දකුණ කිහිප වරක් ආයුද සන්නද්ධ අරගලවලට තල්ලු වීමය. දිවි නසා ගැනීම් සහ මදිරාබාධය නිසා ඇතිවන මරණ අතින්ද ලංකාව සිටිනුයේ ලොව ඉහළ තැනකය. මෙයින් හැඟෙන්නේ නිදහස් ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වූ පමණින් නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු නොවන බවය. රට සමෘද්ධිමත් නොවන බවය.

ජනතාව සතු පරමාධිපත්‍ය බලය ඡන්දයෙන් විධායකයට පැවරෙයි. එය ඡන්දයෙන් පත්වන මහජන නියෝජිතයන් ලවා ක්‍රියාත්මක වෙයි. එහිදී ව්‍යවස්ථාදායකය පනවන නීති අධිකරණය මඟින් ක්‍රියාත්මක කරනු ලබයි. මේ ත්‍රිත්වයම සංවරණ හා තුලන මූලධර්ම අනුව ක්‍රියාත්මක වන බව අපගේ පිළිගැනීමය. එහෙත් එම ආයතන නිරෝගීව ක්‍රියාත්මක නොවන විට අර්බුද නිර්මාණය වේ.

එවිට ජනතාව සතු පරමාධිපත්‍ය බලය ගිලිහේ. එය වෙන වෙන අය සතු බලයක් බවට පත් වේ. මේ තත්ත්වය දරුණු වන අවස්ථාවන්හිදී රට අරාජික තත්ත්වයකට පත් වෙයි. රටවැසියාගේ ඡන්දයෙහි අරුත විකෘති වෙයි.

කවර දේශපාලන ගැටලුවක් වුවද අර්බුදයක් හෝ කුණාටුවක් බවට පත්වන්නට පෙර සමනය කර ගත යුතුය. එසේ නොකළ හොත් එම කුණාටුවට හසු වී ආර්ථිකයට වන හානියත් නැසෙන මිනිස් ජීවිත හා දේපළ හානි පිළිබඳවත් වගකියන්නට කෙනෙකු ඉතිරි නොවනු ඇත. එය අතිශය භයානක තත්ත්වයකි. මන්ද යත් ගිය නුවණ ඇතුන් ලවාවත් ඇද්දවිය නොහැකි හෙයිනි.

වත්මනෙහි මෙරට ඇති වී තිබෙන දේශපාලන අර්බුදයෙහි අක්මුල් සොයමින් කාලය කා දැමීමට වඩා වැදගත් වන්නේ එය විසඳා ගැනීමේ මාර්ග සෙවීමය. ලේ නොහළා ලබාගත් නිදහසක් ඇති රටක අභ්‍යන්තර හේතු මත ලේ හැලීම් සිදුවීමේ මාර්ග අහුරා දැමීම ශිෂ්ට සම්පන්න මිනිසුන්ගේ ප්‍රාර්ථනාවය. දශක හතකට ආසන්න ඉතිහාසයක් ඇති රටේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකෙහි ප්‍රතිපත්තිමය ප්‍රතිවිරෝධතාද අවම වෙමින් පවතින අවධියක දේශපාලන කුණාටුවකින් මෙපිට ගැටලු විසඳා ගැනීමේ විභවයක් පවතින බව අපගේ විශ්වාසයයි. එම විසඳුම ප්‍රමාද වීම රටේ ආර්ථිකයට, ජාතික එක්සත්කමට, යහපැවැත්මට හා පොදුවේ මනුෂ්‍යත්වයට කරන හානිය සුළුපටු නොවේ.

මාතෘකා