අනාගතයට යෝධ පිම්මක්

අනාගතයට යෝධ පිම්මක්

අලුත් අලුත් දෑ නොතනන

ජාතිය ලොව නොනඟී

සිඟා කෑම බැරිවුණු තැන ලගී ගයා මර ගී

කුමාරතුංග මුනිදාස වියතාණන්ගේ එම කවි දෙපදය මුළු මහත් මිනිස් සමාජයටම පොදුවූ සත්තාවක් කියා පෑමකි. මානව ශිෂ්ටාචාරයේ මං සලකුණු බවට පත්ව ඇත්තේ මිනිස් දැනුමෙහි සහ භාවිතයෙහි ප්‍රතිපල බවට පත්වූ නව නිර්මාණයි. ගින්දර සොයා ගැනීමෙන් පටන් ගෙන අභ්‍යාවකාශ යානා දක්වා පැතිර ගිය දැනුම් පද්ධතිය විස්මය ජනකය. එසේ හෙයින් මෙය ඉදිරියට යන ගමනකි. ආපසු හැරීමක් නැත. ලොව දියුණු සංස්කෘතීන්හි නව නිර්මාණකරුවාට ඇත්තේ සුවිශේෂ ස්ථානයකි. එහෙත් ඇතැම් නොදියුණු සමාජ ආචීර්ණ කල්පික විශ්වාසවල කරවටක් එරී පල්ලම් බහිමින් සිටී.

ආගමික භක්තිය සහ මිථ්‍යා විශ්වාසවලට ඇති නැඹුරුවට සාපේක්ෂව ඒ රටවල විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ ක්ෂේත්‍රවල ඇත්තේ පසුබෑමකි.

ලොව ආගම් භක්තිය හා මිථ්‍යා විශ්වාසවලට ඇති නැඹුරුව අතින් ඉහළ රටක් හැටියට ලංකාව ප්‍රකට වුවද විද්‍යාත්මක හා තාක්ෂණික පර්යේෂණ, නව නිර්මාණ ක්ෂෙත්‍රයෙහි සැලකිය යුතු මට්ටමේ උත්සාහයන් පවතී. ඒවාට අවශ්‍ය අභිප්‍රේරණය, දිරිගැන්වීම හා පහසුකම් සැලසීම අතින් නම් එතරම් සතුටුදායක තත්ත්වයක් නොමැති බව කිව යුතුය.

ඊට උදාහරණ ඕනෑ තරම් දැක්විය හැකිය. එහෙත් අපගේ වගකීම විය යුත්තේ එම අඳුරු තත්ත්වය හාරා අවුස්සමින් කාට හෝ බැණ වැදීම නොව නව නිර්මාණ දිරිගැන්වීමේ ජාතික වැඩපිළිවෙලක් සකස් කිරීම සඳහා බල කිරීමය. ඒ පිළිබඳ කතිකාවක් දියත් කිරීමය.

පසුගියදා ගම්පහ බණ්ඩාරනායක විදුහලේ ශිෂ්‍යයකුගේ නව නිර්මාණයක් සඳහා ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් අනුග්‍රහයක් ලැබිණ. එම අවස්ථාව උදා වූයේ ජනාධිපතිවරයා එම විදුහලේ උත්සවයකට සහභාගි වීම නිසාය. රොකට්ටුවක් නිර්මාණය කළ සිසුවාට එය වැඩිදියුණු කරගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලැබුණු බව ප්‍රසිද්ධියට පත් විය.

එම මැදිහත් වීම අගය කළ යුතුය. එහෙත් එය තනි සිදුවීමකි. අපේ රටේ නව නිර්මාණකරුවන්ගේ නිර්මාණ දිරිගන්වමින් ඒවා ජාතික සංවර්ධනයේ මෙවලම් බවට පත් කිරීමේ ක්‍රමවේදයක් නැත. මෙය අවාසනාවන්ත තත්ත්වයකි.

තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයේ ඉංජිනේරු හා තාක්ෂණවේදය විෂය ධාරාව ආරම්භ කිරීමෙන් පසුව සිසුන් කිහිප දෙනක්ම ජාතික හා ජාත්‍යන්තර ඇගයීමට ලක්වූ නිර්මාණ ඉදිරිපත් කළත් අද වන විට ඔවුන්ගේ තත්ත්වය කනගාටුදායකය.

කුඹුරෙහි කටයුතු පහසු කරවීමේ බහුකාර්ය යන්ත්‍රයක් නිපදවු නාමල් සිසුවා ලෝක අවධානයට පත් වූ නමුත් සම්මාන ඝෝෂාව නිවී ගිය පසු ඔහු අමතක කර දමනු ලැබීය. වැව්වල ජපන් ජබර ඉවත් කිරීම හා කාබනික පොහොර නිපදවීම යනා දී කටයුතු සඳහා නව නිර්මාණ කිහිපයක් ඉදිරිපත් කළ හර්ෂණ ප්‍රසාද් සිසුවාද වත්මනෙහි එම ගැටලුවට මුහුණ දී ඇත.

හරි නම් විය යුත්තේ රජය හෝ පුද්ගලික අංශය මැදිහත් වී ඒවා අපේ රටේ නිෂ්පාදන බවට පත්කර නිර්මාණකරුවාටද දිරිදෙමින් කර්මාන්ත දියුණුවට උර දීමය. එමෙන්ම මෙවැනි දක්ෂ සිසුන් හට උසස් පෙළ කඩයිම බාධාවක් බවට පත් නොකර ඉංජිනේරු පීඨවල අධ්‍යාපනය ලබා දීම සඳහා උසස් අධ්‍යාපන බලධාරීන් නම්‍යශීලී විය යුතුය.

මෙවැනි දක්ෂයන් හමුවූ විට බටහිර රටවල විශ්වවිද්‍යාල අනුගමනය කරන්නේ ලිහිල් පිළිවෙතකි. ඊට හේතුව එම සරසවි රටේ සංවර්ධන කාර්යයෙහි කොටස්කරුවන් වීමය. ඒ අතින් අපට තව බොහෝ දුර යෑමට සිදුවේ. මෙය කිසි සේත්ම නොසලකා හැරිය යුත්තක් නොවේ. බුද්ධිමතුන්ගේ නිහඬතාව මීට ඇති ප්‍රධාන බාධාවයි.

මාතෘකා