පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීම

පළාත් සභා මැතිවරණය කඩිනම් කිරීම

පළාත් සභා මැතිවරණය ඉක්මනින් පැවැත්වීම සඳහා පියවර ගන්නා බව ජනාධිපතිවරයා

ඔක්තෝබර් 29දා තිස්සමහාරාමයේදී පැවසීය. චක්‍රලේඛවලට සීමා වීමෙන් මිදී නිසි නායකත්වයක් යටතේ මෙය ක්‍රියාත්මක වීමේ වැදගත්කමද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

මෙය ඉතා වැදගත් ප්‍රකාශයකි. පළාත් සභා මැතිවරණය කල් යෑම බොහෝ පාර්ශ්වවල විවේචනයටද හේතු විය. මැතිවරණ කොමිසමද මෙහිදී දෝෂදර්ශනයට ලක්වුවද එහි සභාපතිවරයා මේ පිළිබඳ යථා තත්ත්වය රටට අනාවරණය කළේය. මැතිවරණ ක්‍රමය විධිමත් කිරීමේ අරමුණ ඇතිව පත්කරන ලද සීමා නිර්ණ කොමිසම එම වාර්තාව ඉදිරිපත් කරන ලද නමුත් එය පාර්ලිමේන්තුවේදී පරාජයට පත් විය.

ඒ අනුව එය සංශෝධනයට ලක් වේ. මේ නිසා මෙවර පළාත් සභා ඡන්දයද පැවැත්වෙනු ඇත්තේ මෙතෙක් පැවති ක්‍රමයටමය. නිසි කලට මැතිවරණ නොපැවැත්වීම ඡන්ද ක්‍රමය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටීමට බලපායි. එය අහිතකර සමාජ ප්‍රවණතාවකි. සීමා නිර්ණ කොමිසම පත් කිරීමේ අරමුණ යහපත් වුවත් එහි ප්‍රතිඵලය යහපත් නොවූයේ නම් බැණ වැදීමට වඩා වැදගත් වන්නේ තිබෙන ක්‍රමයට හෝ මැතිවරණ පැවැත්වීමය.

මෙවර පළාත් සභා මැතිවරණය පැවැත්වෙන්නේ ඓතිහාසික අවස්ථාවකය. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීමේ ක්‍රියාවලිය ආරම්භ වී ඇත. සියලු ජාතීන්ට යුක්තිය ඉටු වන පරිදි බල හවුල්කාරිත්වය ඇති කරගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ සංවාදයක් දියත් විය. මධ්‍යම ආණ්ඩුව සහ පළාත් පාලන ආයතන අතර බලය බෙදී යෑමේ යාන්ත්‍රණය සෑම දේශපාලන පක්ෂයකම අවධානයට ලක් විය. මෙනිසා පළාත් සභා ඡන්දයෙන් ජනමතය උරගා බැලීම ඔස්සේ ඇතිවන පුංචි ආණ්ඩු මහජන විශ්වාසය තහවුරු කරමින් ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියටද ශක්තියක් වනු ඇත.

ලංකාවේ පළාත් සභා වසර 28ක අත්දැකීම්වලින් පොහොසත්ය. පළාත් සභා හඳුන්වා දෙනු ලැබුවේ බලය බෙදීමේ ව්‍යුහයක් හැටියටය.

එහිදී, ශ්‍රී ලංකාවේ එක්සත් බව, ස්වෛරී බව සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම අපේක්ෂා කෙරිණ.

දෙවනුව රටවැසියන්ගේ සමඟිය, සමානාත්මතාව, භාෂාමය සහ සංස්කෘතිකමය අනන්‍යතාව ආරක්ෂා කිරීම පිළිගැනිණ.

මේ පරමාර්ථ ක්‍රියාත්මක කිරීමේ ආයතනික සැලැස්මක් ලෙස පළාත් සභා ක්‍රමය ආරම්භ විය.

පළාත් සභා ක්‍රියාත්මක වීමේදී නැඟුණු චෝදනාවක් වූයේ 13 වැනි ව්‍යවස්ථාවෙන් පළාත් සභාවලට දුන් බලය මධ්‍යම ආණ්ඩුවෙන් පවරා ගැනීමය. පළාත්වලින් රැස් කෙරෙන බදු ආදායම් සාධාරණ අයුරින් එම පළාත්වල ආයෝජනය සඳහා නොයෙදවීමේ චෝදනාවද විය. මධ්‍යම ආණ්ඩුවේ විෂයයන් සහ පළාත් විෂයයන් හරිහැටි නිර්වචනය නොවීමේ අඩුවද පැවතිණ.

ඉඩම් සහ පොලිස් බලතල විවාදාපන්නම මාතෘකාවක් විය. යෝජිත ව්‍යවස්ථා අනුකමිටු වාර්තා මේ බොහෝ ගැටලු නිරාකරණය කිරීමේ ප්‍රවේශයකින් යුක්තය. එනිසා මෙවර පළාත් සභා මැතිවරණය, බල පොරයේ අඩයාළමක් කරගනු වෙනුවට රටට ගැළපෙන ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමේදී එහි බලහවුල්කාරිත්වය කෙසේ විය යුතුද යන කතිකාව පෝෂණය කිරීමේ අවස්ථාවක් කර ගැනීම උචිතය.

මාතෘකා