මිලිටරි නායකත්වය ගැන වාසුගේ අනතුරු ඇඟවීම

මිලිටරි නායකත්වය ගැන වාසුගේ අනතුරු ඇඟවීම

 

 

ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරයකු වන වාසුදේව නානායක්කාර මහතා අනතුරු ඇඟවීමක් කර ඇත. මෙවර ඔහුගේ අවධානය යොමු වී ඇත්තේ මීළඟ ජනාධිපතිවරණය වෙතටය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමේ සුදානමක් පෙනෙන බවත් විශ්‍රාමික හමුදා නිලධාරියකු හා හිටපු ආරක්ෂක ලේකම් හැටියට ඔහුගේ අතීත ක්‍රියාකාරකම් අනුව ඔහු එවැනි තනතුරක් සඳහා කිසිසේත්ම සුදුසු නොවන බවත් වාසුදේව මහතාගේ අදහසයි.

ඔහු දැනටමත් ප්‍රචාරණ කටයුතු අරඹා ඇතැයි පෙනෙන බවද ඔහුගේ සහායට ඉදිරිපත්ව ඇත්තේ හමුදාවට සම්බන්ධ පාර්ශ්ව බවද එය භයානක තත්වයක් බවද වාසුදේව මහතා අනතුරු අඟවයි.

මේ අනතුරු ඇඟවීම සංඥා කිහිපයක් නිකුත් කරයි. ඉන් පළමුවැන්න ඒකාබද්ධ විපක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් දැනටම මතභේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති බවයි. දෙවැන්න මිලිටරිමය මැදිහත්වීම් ඔස්සේ පසුගිය ආණ්ඩුව කළ ඇතැම් කටයුතු පිළිබඳ එකඟ නොවන පාර්ශ්ව එම ආණ්ඩුවේ සිටි බවයි.

එකල ග්‍රීස් යක්කු පිළිබඳ භීතියක් රට පුරා නිර්මාණය කර තිබිණ. නැගෙනහිර ප්‍රදේශයේ මුස්ලිම් ජනතාවගේ දේපළ සොරකම් කිරීමවලට ආරක්ෂක අංශ සම්බන්ධ බවටද සාක්ෂි අනාවරණය විය. මේ පිළිබඳව පාර්ලිමේන්තුවේදී කරුණු දැක්වූ වාසුදේව නානායක්කාර මහතා තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි පැවසීය. එමෙන්ම නාගරික සංවර්ධන අධිකාරියේ ඇතැම් කටයුතු සඳහා හමුදාමය බලහත්කාරය යොදා ගැනීම ඔහුගේ දැඩි විවේචනයට ලක් විය.

වාසුදේව නානායක්කාර මහතා මහින්ද පාර්ශ්වය නියෝජනය කළද ඔහු ජාතිවාදයට විරුද්ධ මහජන නියෝජිතයෙකි. එමෙන්ම 89 වසරේ ශ්‍රී ලංකාවේ මානව හිමිකම් කඩවීම්වලට එරෙහිව මහින්ද සමග ජිනීවා ගියේ වාසුය. අවාසනාව වන්නේ රාජපක්ෂ පාලනය යටතේ සිදු වූ මානව හිමිකම් සම්බන්ධයෙන් ඔහු මුනිවත රැකීමය. මහින්ද තම මිතුරකු නිසා ඔහුට එරෙහි විය නොහැකි බව වාසු වරක් ප්‍රකාශ කළේය. ඔහුගේ මේ මිත්‍රකම දුෂණ වංචා වසා ගැනීමේ අරමුණ ඇති කපටිකමක් නොවන්නේ ඔහු එබඳු දූෂිතයකු නොවන හෙයිනි. ඔහු පිරිසිදු දේශපාලකයකු බව රටම දනී.

මහින්ද ගොඩදැමීමේ ව්‍යාපෘතියෙහි සිටින බොහෝ අය එසේ නොවෙති. ඔවුහු විවිධ අපරාධවලට, රාජ්‍ය දේපළ කොල්ලකෑම්වලට චෝදනා ලද්දෝ වෙත්. යුද ජයග්‍රහණවල ආස්වාදය ඇවිස්‍සීමෙන් ගෝඨා අඩයාලමක් කරගෙන ජනාධිපතිවරණයෙන් ජයගැනීමේ උපක්‍රමය භාවිතයට ගනිමින් සිටිනුයේ මෙකී ගජමිතුරු කල්ලියයි. ළඟ ළඟ එන විශේෂ මහාධිකරණ තමන්ට තර්ජනයක් බවද ඔවුහු දනිති.

වාසුදේව මහතාගේ ප්‍රකාශය යහපාලන රජයට එරෙහිව ඉදිරිපත් කිරීමට නියමිත ජනාධිපති අපේක්ෂකයා සම්බන්ධයෙන් ඇති ආරවුල නැවත වරක් කරළියට පැමිණීමකි. 2015 ජනතා අපේක්ෂා ඉටු කිරීම සම්බන්ධයෙන් කවර ප්‍රතිවිරෝධතා පැවතුණත් ආණ්ඩුව ඉදිරියට යයි. ඊට වැඩි තීව්‍රතාවක් සහිත ප්‍රතිවිරෝධතා ඊනියා ඒකාබද්ධයෙන් දිස්වේ.

දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසිදු නායකත්වයක් යන තේමාව ඔවුන්ගෙන් ගව් ගණනක් දුරස්ය. යුද ජයග්‍රහණය පිරුවටක් කරගෙන ඝාතන හා මූල්‍ය අපරාධවලට චෝදනා ලැබූවකු ඉදිරිපත් කිරීමෙන් වාසියක් නොලැබෙන බව දැන්ම ඔප්පු වී හමාරය.

මේ එලඹ ඇත්තේ නිදහස් අධිකරණයක් පිළිබඳ ලිට්මස් පරීක්ෂාව කෙරෙන අවධියයි. එය ඉතිහාසයේ තීරණාත්මක අවස්ථාවක් වනු නිසැකය. මිග් යානා ගනුදෙනුව, දෙමාපිය ස්මාරක සඳහා රාජ්‍ය දේපළ අවභාවිතය, ලසන්ත හා එක්නැලිගොඩ ඝාතන පරීක්ෂණ පවතින්නේ තීරණාත්මක තැනකය.

"අපි ආවම බලාගමු" යන සංඥාව එතරම් බලගතු නැත. යහපාලනය වෙනුවෙන් පෙනී සිට ගෝඨා සරණ යන චූල බුද්ධිමතුන් ඇතුළු සමාජ කණ්ඩායම්වලට සිහිඑළවා ගැනීමේ තට්ටුවක් වාසුදේව මහතා විසින් දමා ඇත. එහෙයින් වාසුගේ ප්‍රකාශය නියමිත වේලාවට නිසි අයුරින් පතිත කළ මිග් යානා ප්‍රහාරයක් වැන්න.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?