ණය කන්ද

ණය කන්ද

ණය බරින් පීඩිතව සිටින යමෙක් වෙත්නම් ඔහු ඉන් මිදෙන්නට මඟක් නැති කල කරනුයේ සියදිවි නසා ගැනීමය. ශ්‍රී ලංකාවට රාජපක්ෂ යුගයෙන් උරුම වූ ඩොලර් කෝටි 3600ක ණය කන්දක් තිබේ.එහෙම බැලූවිට රට සිය වරකට වඩා සියදිවි නසා ගන්නා තරමේ උවදුරක සිරවී තිබිණි.තෙවසරක් තිස්සේ 'යහපාලන'ආණ්ඩුවට සිදුවූයේ එකී තොණ්ඩුවෙන් රට ගලවා ගැනීමට උපාය උපක්‍රම සැකසීමට ය. සුද්දාට මොනතරම් ශාප කළද ඔහු යනවිට ඉතිරි කළ බොහෝ දේ විණි. ඒ සියල්ලට වඩා රටක් හැටියට ණයක් නැතිව සිටිය හැකි වටපිටාවක් තිබිණි. සේනානායක සමුද්‍රය පවා එතෙර ආයෝජන කිසිවක් නැතිව ගොඩනැගීමේ ශක්තිය නිදහසට පෙරත් ශ්‍රී ලංකාව සතුව පැවැතිණි.

ස්වාධීනව ශක්තිමත්ව තිබූ ආර්ථිකයක් නාය ගිය තැනට පත් වන්නේ අපේම වරදිනි.දේශපාලන බල අරගල විසින් 'අදූරදර්ශී'සුබසාධන රටාවන් හඳුන්වා දීමත්,ජාතික ප්‍රතිපත්ති වෙනුවට දේශපාලන න්‍යාය පත්‍ර මත කටයුතු කිරීමත් හේතුවෙන් සිදු වූ ව්‍යසනය සුළුපටු නොවෙයි.අවස්ථා කිහිපයක හැරුණුකොට කාලයක් තිස්සේම මෙරට ආර්ථිකය බලවත් උවදුරු රැසකින් පීඩා වින්ද බව නොරහසකි.මුළු රටම කාපට් සහ කොන්ක්‍රීට් බිමක් කිරීම පමණක් ස්වකීය අබිමතය කොටගත් ඉකුත් රාජපක්ෂ යුගය එතෙම් මෙතෙක් ඉතිහාසයේ වැඩිම ණයක්, අධිකම පොලියට ගත් වකවානුවක් ලෙස සැලකේ.

දුරදිග නොබලන ආර්ථික 'සෙල්ලමේ'විපාකයක් ලෙස උද්ධමනයෙන් පිරි රටක් මහින්ද යුගයේ ක්‍රියාත්මකව තිබිණි.යුද්ධය වකවානුවේදී පවා දෙගුණ නොවූ රාජ්‍ය ණය බර යුද්ධයෙන් පසුව බිලියන 3220 කින් ඉහළ යාම දක්වා එකී ව්‍යසනය බරපතල විනි. 2005 වසරේදී සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 2222 ක් වු අතර යුද්ධය අවසන් වන විට, එනම් 2009 වසර අවසාන වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 4161ක් දක්වා වැඩි වී තිබිණි.මේ කාලය තුළ රාජ්‍ය ණය ප්‍රමාණය වැඩි වී ඇත්තේ රුපියල් බිලියන 1939ක ප්‍රමාණයකින්ය. එසේ වුණත් 2014 වසර අවසානය වන විට සම්පූර්ණ රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 7391ක් දක්වා වර්ධනය වී තිබිණි.

2009 වසරේ සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 3230 කින් වැඩි වී තිබිණි. මේ අනුව, 2005 වසරේ සිට 2014 වසර වන විට රාජ්‍ය ණය ප්‍රමාණය රුපියල් බිලියන 5169 කින් වැඩි වී තිබීම විමතියකට කරුණකි.වත්මන් ආණ්ඩුවට එරෙහිව 'ගජමිතුරු'ආර්ථික චෝදනාවක් එල්ල කරන රාජපක්ෂවාදීන් මීට තෙවසරකට පෙර පැවැති 'ගජමිතුරු,නෑදෑ'ආර්ථික නාඩගම අමතක කොට දමති.වසර දහයකට ආසන්න කාලයක් තිස්සේ ඥාති - ගජ මිතුරු ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් රටට උදා කළ ව්‍යසනය සුළු පටු නොවේ. කොන්ක්‍රීට් සහ කාපට් උදෙසා කෝටි ප්‍රකෝටි ගනන් ධනස්කන්ධයක් වැය කළ රාජපක්ෂ යුගය ඉන් ගජමිතුරන්ට සෙත සැලසූ ආකාරය අපුල දනවනසුලුය.

මහින්දවාදීන් පවසන්නේ ගත් ණයවලට කළ දේ තිබෙන බවය.දූෂිත මිග් යානා ගනුදෙනුව, රාජ්‍ය වියදමෙන් මවුපියන් වෙනුවෙන් ස්මාරක ඉදිකිරීම, මාධ්‍යවේදීන්ට පහරදීම හා අතුරුදන් කරවීම,දූෂණය භීෂණය පැතිරවීම, නීති විරෝධී අවි ගබඩා මඟින් රජයට අය විය යුතු ආදායම් අහිමි කිරීම වැනි බොහෝ දේ ඔවුන් සිදුකොට තිබිණි.වත්මන් ආර්ථිකය ව්‍යසනයක් ගැන 'භීතියක්'මවාපාන රාජපක්ෂවාදී ආර්ථික විශ්ලේෂකයන් ප්‍රධාන කරුණු කිහිපයක් අමතකකොට දමති.1948 නිදහසෙන් පසුව වැඩිම විදේශ ණය සඳහා ගෙවීම් සිදුකිරීමට ඇත්තේ 2018 වසරේදීය. එම මුදල ඇ.ඩො. මිලියන 2845ක් වන අතර ඉන් ඇ.ඩො. මිලියන 1789ක්ම 2015 වසරට පෙර ලබාගත් ණය වාරිකයන්ය.

2015ට පසු ලබාගත් ණය සඳහා ගෙවීමට ඇත්තේ ඇ.ඩො. මිලියන 1056ක් පමණි. මේ අනුව බලන කල මෙම වසරේ පියවීමට ඇති ණය වාරිකවලින් 63%ක්ම ගෙවීමට ඇත්තේ මහින්ද රාජපක්ෂ මහතා මුදල් ඇමැති ලෙස කටයුතු කළ කාලයේ ණය සඳහාය. රුපියල් දෙදහස් පන්සියයෙන් පවුලකට මාසයක් ජීවත් වෙන්න පුළුවන් බැව් පුන පුනා කී ආර්ථික 'ඔස්තාර්ලා'කෙටිකාලීන ඉතිහාසය සැණෙකින් අමතකකොට තිබේ.

මාතෘකා

 
 
 
රටේ අපරාධ රැල්ල අඩු කිරීමට කළ යුත්තේ ?