ගඟට කැපූ ඉනි

ගඟට කැපූ ඉනි

වෘත්තීය පුහුණුවට වැය කළ කෝටි 234ක් වතුරේ යන්න ඊයේ 'රැස' ප්‍රධාන පුවත විය. තරුණ-තරුණියන්ට ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය මඟින් අන්තර්ජාතික මට්ටමේ පිළිගැනීමක් සහිත සහතිකයක් ලබාදීම සඳහා රුපියල් කෝටි 234කට අධික මුදලක් පසුගිය වසර තුනට පමණක් වැය කර ඇතත්, ඉන් පුහුණුව අවසන් කර විභාග සඳහා පෙනී සිට ඇත්තේ සියයට 13කට ආසන්න පිරිසක් පමණක් බව ඉන් අනාවරණය විය. පවතින රැකියා අවස්ථා සඳහා විධිමත් පුහුණුව ලැබූ පිරිස හිඟ වීම

ශ්‍රී ලාංකේය සමාජය මුහුණ දෙන බරපතල ගැටලුවකි. කලක් තිස්සේ පැවැති විෂය මූලික අධ්‍යාපන ක්‍රමවේදය හේතු කොටගෙන බොහෝ දෙනා උත්සාහ කරන්නේ වෘත්තීය අධ්‍යාපනය ගැන නොසිතා විෂය පමණක් න්‍යායිකව හදාරා සාමාර්ථ ගන්නටය. එයින් සිදු වන්නේ ලක්ෂ ගානක් වන රැකියා අවස්ථා සඳහා පුහුණු ශ්‍රමිකයන් අහිමි වීමය.

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටින දරුවන්ගෙන් වැඩි පිරිසක් උසස් පෙළ හැදෑරීම සඳහා සුදුසුකම් ලබනමුත්, සරසවි වරම් ලබන්නේ සුළු ප්‍රතිශතයකි. ඉන් ඔබ්බට වඩා විධිමත් වෘත්තිකයකු නිර්මාණය කිරීම උදෙසා රජය විසින් ස්ථාපිත කරනු ලැබූවකි, වෘත්තීය පුහුණු පාඨමාලා. මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉතිහාසය විමසා බලන විට එහි ප්‍රධාන සන්ධිස්ථානයක් ලෙස 1893 වසරේ ඇරැඹි මරදාන කාර්මික විද්‍යාලය පෙන්වා දීමට පුළුවන. එසේම 1990 වසරේ තෘතීය හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව (TVC) පිහිටුවීම නිසාද මෙරට වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රය සාර්ථක ඉසව්වක් වෙත ගමන් කිරීම ඇරඹිණි. එම කොමිෂන් සභාව පිහිටුවීමෙන් පසු වෘත්තීය අධ්‍යාපනය සඳහා වන ජාතික වෘත්තීය සුදුසුකමද (National Vocational Qualification-NVQ) හඳුන්වා දෙනු ලැබිණි. මේ වන විට NVQ සුදුසුකම බොහෝ රැකියා සඳහා වැදගත් යෝග්‍යතාවක් වේ. විවිධ ක්ෂේත්‍රයන්ට අදාළ වෘත්තීය පුහුණුව ලබමින් සිය ජීවන මඟ ස්ථාවර කර ගැනීමට බලාපොරොත්තු වන පිරිස් සඳහා විෂයභාර අමාත්‍යාංශය යටතේ ඇති රාජ්‍ය ආයතන රැසක් මඟින් NVQ සුදුසුකම පිරිනැමෙන පාඨමාලා රැසක් පැවැත්වේ.

ඒ අනුව දිවයින පුරා ස්ථාපිත කාර්මික විද්‍යාල, තාක්ෂණික විද්‍යාල පමණක් නොව වෘත්තිය පුහුණු අධිකාරිය යටතේ රට පුරා පිහිටි වෘත්තීය පුහුණු ආයතන, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, ජර්මානු කාර්මික අධ්‍යාපන ආයතනය, සාගර විශ්වවිද්‍යාලය ආදී ආයතන මඟින් NVQ සුදුසුකම පිරිනැමෙන පාඨමාලා රැසක්ම පැවැත්වෙන අතර උපාධි පාඨමාලාද ඒ අතර වේ. එය ඛේදනීය අවාසනාවන්ත තත්ත්වයකි. මේ සියල්ල සකසා තිබෙනුයේ මෙරට සමාජ, ආර්ථික සංවර්ධනය උදෙසා විධිමත් වෘත්තිකයකු බිහි කරනු පිණිසය. මෙරට 'වැඩ ලෝකය' උදෙසා එවැනි 'වැඩ පුහුණු' ශ්‍රමිකයන් අත්‍යවශ්‍යය. නිල තොරතුරුවලට අනුව ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණුකිරීම් අධිකාරිය මඟින් වෘත්තීය පුහුණු කිරීම් සඳහා 2015 වර්ෂයේ රුපියල් 714,223,432ක්ද ,2016 වර්ෂය සදහා රු. 704,551,815ක්ද, 2017 වර්ෂයේ 922,828,450ක්ද වැය කර ඇත.

එ් වසරවල පූර්ණකාලීන හා අර්ධකාලීන පාඨමාලා සඳහා ඇතුළත් වී පුහුණුව අවසන් කළ සිසු සිසුවියන් සංඛ්‍යාව 61,652කි. එයින් විභාගයට පෙනී සිට ඇත්තේ 8,203 දෙනකු පමණකි. එනම් පුහුණුව අවසන් කළ අයගෙන් සියයට 87ක්ම විභාගයට පෙනී සිට නැත. ජාතික වෘත්තීය සුදුසුකම් මට්ටමක් හිමි කර දීම මේ පුහුණු වැඩසටහන්වල අරමුණ වන අතර, සිසුන් විභාගවලට පෙනී නොසිටීමෙන් එම අරමුණ මුළුමනින් බිඳ වැටී තිබේ. යට පුවතින් අනාවරණය වන්නේ එකී වෑයම 'ගඟට කැපූ ඉණි' බවට පත්ව තිබෙන අයුරුයි. රටක අනාගතය උදෙසා විධිමත් ශ්‍රමික පිරිසක් බිහි කිරීමට ගනු ලබන ප්‍රශස්ථ වෑයම මඟ හැරීම බෙහෙවින්ම අවාසනාවන්ත තත්ත්වයකි.

මාතෘකා