ක්‍රිකට් ද? බූරුවා ද?

ක්‍රිකට් ද? බූරුවා ද?

 

1817 එංගලන්තයේ විලියම් ලැම්බට් ලෝක ක්‍රිකට් ඉතිහාසයේ තීරණාත්මක 'කළු පැල්ලම' සටහන් කළේ 'ලෝඩ්ස්' පිටියේදීය. ඒ තරග පාවාදීමේ මූලාරම්භය සටහන් කරමිනි. තරග පාවාදීමේ කුප්‍රකට ඉතිහාස කතාව ලැම්බට්ගෙන් ආරම්භ වන අතර 1893 දී ඉන්දියාවේ ගුජරාටි ප්‍රාන්තයේ පැවැති ක්‍රිකට් තරගයකදී ඉංග්‍රීසි පෙලෙන් ගුජරාටි ප්‍රාන්තයට ඉල්ලීමක් ලැබුණි. ඒ අදාල තරගය 'පරාජය වන සේ' ක්‍රීඩා කරනවා නම් ගුජරාටයේ ජනයා වසර තුනකට බදුවලින් නිදහස් කරන බවට වූ 'අල්ලස් යෝජනාවයි. පසු කලෙක් 'ලගාන්' නැමති චිත්‍රපටය නිර්මාණය වන්නේ ඒ සිදුවීම පාදක කරගෙනය.

මොහොමඩ් අසරුදීන්, හැන්සි ක්‍රොන්යෙ, අජේ ජඩේජා, සලීම් මලික්, හර්ෂල් ගිබ්ස්, මාලන් සැමුවෙල්ස්, සල්මාන් බට්, මොහොමඩ් අසීෆ්, මොහොමඩ් ආමිර්, මොහොමඩ් අශ්රෆුල්, ශ්‍රීසාන්ත් වැනි ක්‍රීඩකයින් රැසකගේම කීර්තිමත් නම් අපකීර්තිමත් මුද්‍රාවකට හසුවන්නේ මේ තරග පාවාදීම් නිසාය.

එතෙක් මෙතෙක් තරග පාවාදීම් ගැන බොහෝ අවස්ථාවල වාර්තා වූ අතර ශ්‍රී ලංකාවේ නමද යාන්තමට ඊට ඈඳෙන අවස්ථා කිහිපයක් තිබිණි. එහෙත් ඒ කිසි විටෙක සෘජුවම ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වෙත සනාථ කළ හැකි චෝදනාවක් එල්ල වූයේ නැත. ඒ අනුව තරග පාවාදීම් සම්බන්ධව ශ්‍රී ලංකාව තියුණු විවේචනයකට ලක්වූයේ නැත.

ක්‍රිකට් යනු මහත්වරුන්ගේ ක්‍රීඩාවකි. එහි ජීවගුණය පවත්නා තාක් කල් එය අතිශය විචිත්‍රවත් ලීලාවෙන් දිලෙනු ඇත.

මෙරට අද පවතින ක්‍රිකට් ක්‍රීඩාවේ ආයතනිකමය ව්‍යුහය ආරම්භ වූයේ 20 වන සියවස මුලදී පමණය. ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ වෘත්තීය භාවය බිහිවූයේ ඔවුන්ට කොළඹ වාණිජ සමාගම්වල රැකියා අවස්ථා බිහිවීම සමඟය. එහි අනිසි ප්‍රතිඵලය වූවේ සියලු මහත්මා ගති පැත්තකට දමා සල්ලි මලු පුරවා ගැනීමේ ක්‍රීඩාවක් බවට ක්‍රිකට් පරිවර්තනය වීමය.

විවිධ අවස්ථාවල උඩ යට යමින් තිබූ තරග පාවාදීමේ කතාව නැවත කරලියට එන්නේ 'අල් ජසීරා පුවත් සේවය' පසුගියදා කළ අනාවරණයෙනි. ඔවුන් චෝදනාව එල්ල කරන්නේ ශ්‍රී ලංකාවට ය. එහෙත් වත්මන් ක්‍රීඩකයින් කිසිවෙක් මේ 'පහත්' ක්‍රියාවට සම්බන්ධ නැති බව අනාවරණය කිරීමටත් 'අල් ජසීරා' පසුබට නොවේ.

කෙසේ වෙතත්, අල් ජසීරා හෙළිදරව්ව සැබෑවක් නම් ඒ පිළිබඳව නොවලහා පරීක්ෂණ පැවැත්විය යුතුය. චූදිතයින් වෙත්නම් නොවලහා හෙළිදරව් කොට නිසි දඬුවම් පැමිණවිය යුතුය.

වරක් ලෝක කුසලානය දිනූ රටක් ලෙසත්, දෙවරක් අවසන් වටයට සුදුසුකම් ලද රටක් ලෙසත්, කිහිප වතාවක් ලෝක මට්ටමේ ශූරතා ජයගත් රටක් ලෙසත්, ලෝක පූජිත ක්‍රීඩකයින් රැසක් බිහි කළ රටක් ලෙසත් මෙරට ක්‍රිකට් ඉදිරියෙන් සිටී. එවැනි තත්ත්වයක් තුළ මෙවැනි ප්‍රවෘත්ති අසන්නට ලැබීම කණගාටුවට කරුණකි.

ශ්‍රී ලංකාව යනු ක්‍රීඩාවේ ජීවගුණය උපරිම ලෙස සුරක්ෂිත කරන ඉතිහාසයක් සහිත රටකි.

1996 වසරේ දී ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලානය දිනා ගැනීම ක්‍රිකට් ක්‍රීඩාව අධිරාජ්‍යවාදී මානසික මට්ටම තුරන් කිරීමට සමත් වූවා පමණක් නොව රටේ සිවුදිග ක්‍රිකට් උන්මාදයක් ආරම්භ විය. ඒ හරහා අතිවිශාල මූල්‍ය සංසරණයක් සිදුවිය.

ක්‍රීඩාවේ විනය කැඩීම් සම්බන්ධව ශ්‍රී ලංකාවේ නම කියවෙන්නේ කලාතුරකින්ය. ක්‍රීඩාව සහ දේශපාලනය සම්බන්ධ වීම ගැන කොතෙක් විවේචන තිබුණද, තරඟ පාවාදීම්, වංචනික සිදුවීම් සම්බන්ධව මෙරටට තිබෙන්නේ 'කලුපාට' නොවන පැහැපත් නාමයකි.

ක්‍රීඩාව බුකීකරුවන් සහ ඔට්ටුකරුවන් අතට යාම අතිශයින්ම භයානක තත්ත්වයකි. රට වෙනුවෙන් ක්‍රීඩා කිරීම පසෙකලා තම පෞද්ගලික අභිමතාර්ථයන් වෙනුවෙන් වෙහෙසෙන ක්‍රිකට් ක්‍රීඩකයන් බිහි කළේ ඔවුන්ය. එවිට සිදුවන්නේ ක්‍රීඩාව වෙනුවට 'මුදල' ඉස්මතු වීමය. මුදල ඉස්මතු වෙන තැන්හි, දූෂණය පවතී. සියල්ල ජරාජීර්ණ වූ සමාජයක ක්‍රීඩාව සුපිරිසිදු ලීලාවෙන් පවතී යැයි යමෙකුට තර්ක කළ නොහැකිය. එහෙත්, වරදක් හෝ වංචාවක් වූ බව අනාවරණය වන සැණින් ක්‍රියාත්මක වීම බෙහෙවින්ම වැදගත්ය. එසේ නැති කල 'ක්‍රිකට්' වෙනුවට 'බූරුවා ගැසීම' තෝරාගැනීම්, යෙහෙකි.

මාතෘකා