අපේක්ෂාවට පයින් ගසන්නෝ

අපේක්ෂාවට පයින් ගසන්නෝ

මහරගම ‘අපේක්ෂා’ රෝහලෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන රෝගීන්ට ඖෂධ නොමැති බව ප්‍රකාශ කරමින් එම රෝගීන් අපහසුතාවට පත් කරන කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙලක් ගැන පසුගියදා වාර්තා විය. මේ කුමන්ත්‍රණයට හවුල්ව සිටිනුයේ ඖෂධවේදීන් පිරිසක් බවත් මේ සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කිරීමට පියවර ගත් බවත් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය කීය. ජීවිතය අපේක්ෂාවෙන් 'අපේක්ෂා' රෝහලට එන මිනිසුන්ගේ ජීවිත එක්ක සෙල්ලම් කරන යමෙක් වෙත්නම් ඔහු ආදේශ කළ යුත්තේ තිරස්චීන කුලකයටය. එය එතරම්ම සාහසික නරුමකමකි. ලෝකයේ වැඩිම ප්‍රමාණයක් මියයන සහ ලංකාවේද වැඩිම රෝගීන් ගණනක් වාර්තා වන මාරාන්තිකම රෝගය පිළිකාවයි. අන් කවර රෝගයකටත් වඩා පිළිකාව යන නම ඇසීමට පවා බොහෝදෙනා බිය වෙති. එය ඒ තරම්ම අභාග්‍යසම්පන්න රෝගයකි. පිළිකා රෝගියා මරුවා වෙත රැගෙන යන්නේ ටික ටිකය. බොහෝ විට වසර ගණනක් මැරි මැරී ඉපදෙමින් දුක්විඳින රෝගියා නිසා එම නිවසේ සියලුදෙනාත්, සමීපතයිනුත් අතිමහත් වූ වේදනා සයුරක ගිල්වා තබයි.

ජීවිතයක වටිනාකම මොනතරම් දැයි යමෙකුට දැන ගැනීමට අවැසි නම් ඔහු නොපමාව හමුවිය යුත්තේ පිළිකා රෝගියෙකි. එකම එක තත්ත්පරයක් හෝ ජීවත් වීමේ අප්‍රමාණ ලෝබකම ඔවුන්ගේ සුදුමැලි දෙනෙත් යටින් වෙයි. ජීවිතය පිළිබඳ අන්ත අසරණ අපේක්ෂාභංගත්වය දෑඟිලි අතරින් ගිලිහී යමින් සිටියදීත් ඔවුහු හිස් දෑසින් ලෝකය දෙස බලා සිටිති. යහපාලන ආණ්ඩුව කළ සුවිශේෂී කටයුත්තක් වූයේ අත්‍යවශ්‍ය ඖෂධ මිල අඩු කිරිමය. මේ තත්ත්වය ඇතැම් ජාවාරම්කරුවන්ගේ හිතසුව පිණිස වූයේ නැත. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඖෂධ ටෙන්ඩර්වල සිදුවී ඇති දුෂණ වංචා නතර කිරීම හේතුවෙන් සමහර ඖෂධ සමාගම් කැළඹීමට පත්වූ බව නොරහසකි. විෂමාචාර සිද්ධීන්වලට සම්බන්ධ ඖෂධ සමාගම්වලට නීති රීති පැනවීමත්, එවැනි නීති රීති පනවන ලද ඖෂධ සමාගම් අවස්ථාවෙන් ප්‍රයෝජන ගෙන මෙවැනි අසත්‍ය ප්‍රචාර සිදුකිරීමත් අරුමයක් නොවේ. එහෙත් ඔවුන් මේ නාඩගම නටන්නේ අන්ත අසරණ රෝගීන් කොටසක් සමඟය. අපේක්ෂා රෝහලට එන්නේ එවැනි අහිංසක මිනිසුන්ය. ඔවුන්ගේ ජීවිත සමඟ යමෙක් සෙල්ලම් කරනවා නම් එය 'තක්කඩිකමකි'. යට කී වර්ගයේ තිරස්චීන කමකි. නිසි කලට නිසි ලෙස ප්‍රතිකාර ගත් විට පිළිකා මාරයා පවා පරාජය කළ හැකි තරමට නූතන වෛද්‍ය විද්‍යාව දියුණුය. පිළිකා රෝගීන් තුළ ඒ ගැන පවත්නේ අසීමිත විශ්වාසයකි. නව ආණ්ඩුව ස්වකීය ප්‍රතිපත්තියක් ලෙස සෞඛ්‍ය සහනාධාර ලබාදීම සිදුකරයි. අතිශය සංවේදී ලෙස සලකා කටයුතු කළ යුතු පිරිසකට ජීවිතය ගැන පවත්නා අවසන් අපේක්ෂාවත් සුන්වී යන ලෙස කටයුතු කරන හෝ හැසිරෙන පිරිසක් වෙත් නම් ඔවුන් මානව සමාජයටම කරනුයේ ද්‍රෝහීකමකි.

වෛද්‍යවරු කවදත් මනුස්ස ජීවිත සුරක්ෂිත කිරීම වෙනුවෙන් කැප වෙති. එනිසාම මිනිස්සු ඔවුන් කෙරෙහි අප්‍රමාණ ගෞරවයක් දක්වති. මෙරට රෝහල්වල සිටින අතිමහත් බහුතරයක් එකී රාජකාරිය දේවකාරියකට වඩා උතුම්කොට සලකති. ‘අපේක්ෂා’ රෝහලේ සේවය කරන අතිබහුතරයක් පිරිස්ද කරන මෙහෙවර සුළු පටු නොවේ. ජීවිතය අත්හැර දමන්නට කරුණු කාරණා යෙදුණු මිනිසුන්ට ජීවිතය සමීප කිරීමේ උදාර මෙහෙවර ඔවුන් අතින් සිදුවෙයි. දිවා රෑ නොබලා ඔවුහු ස්වකීය මෙහෙවර ඉටු කරති. එහෙත් ඒ අතරේ සිටින, සාහසික න්‍යාය පත්‍ර නඩත්තු කරන, කිහිපදෙනෙකු සිදුකරන ජඩකම් කිසි ලෙසකින්වත් අනුමත කළ හැකි නොවේ. ඒවාට දඬුවම් සොබාදහමින් හෝ උරුම වන බව ඒකාන්තය.

මාතෘකා