උගත් පාඩම් සහ අවස්ථාවාදය

උගත් පාඩම් සහ අවස්ථාවාදය

රට නැවතත් ආපදා තත්ත්වයකට මුහුණ දෙමින් සිටියි. නිරිත දිග මෝසම් සුළං සක්‍රිය වීමත් සමඟ පිට පිට තෙවැනි වසරටත් දැඩි වර්ෂාපතනයකට මුහුණ දීමට රටට සිදුව ඇත. ස්වාභාවික ආපදා වැළැක්වීම දීර්ඝ කාලීනව කළ යුතු ක්‍රියාවලියක් මිස ආපදාවක සේයාවක් දුටුවනම කළ හැකි දෙයක් නොවේ. එබැවින් ස්වාභාවික අපදාවක් කල් තියා හදුනාගෙන අවම පුද්ගල සහ දේපළ හානි සිදුවන අයුරින් එය කළමනාකරණය කිරීම රජයක වගකීම බවට පත් වේ. පසුගිය වසර දෙක තුළම ඇති වූ ගංවතුර ආපදා අවස්ථාවලදී රජය පාර්ශ්වයෙන් තිබූ පෙර සූදානම සම්බන්ධයෙන් බොහෝ චෝදනා එල්ල විය. ආපදා තත්ත්වයක් ඇති වූ අවස්ථාවේ විෂය බාර අමාත්‍යවරයා රටින් බැහැරව සිටීම සහ ඒ තත්ත්වය පහව යන තෙක් රටට නොපැමිණීම සම්බන්ධයෙන් දැඩි විවේචන එල්ල විය. ඒ චෝදනාව වර්තමාන රජයට එල්ල කළ අයහපත් බලපෑමද සුළුපටු නොවේ.

'වළට වැටීම මොළයට ලාභයක් වේ' යනුවෙන් ප්‍රකට චීන පිරුළක් ඇත. පෙර සිදු වූ අතපසුවීම්වලින් යමක් ඉගෙන වර්තමානය නිවැරදි කර ගැනීමට අයෙක් කටයුතු කරනවා නම් එය සැබැවින්ම අගය කළ යුතුය. වර්තමාන ආපදා කළමනාකරණ අමාත්‍යවරයා එලෙස වළට වැටීමෙන් මොළය පාදාගෙන ඇති බව පසුගිය සතියේ ඔහුගේ ක්‍රියා කලාපය පසක් කරයි. මෙවර මෝසම් වර්ෂාව දැඩිව, එය සුළු ගංවතුර තත්ත්වයක් බවට වර්ධනය වන්නට පටන් ගත්තේ පසුගිය සඳුදා උදය වරුවේදීය. නමුත් ආපදා කළමනාකරණ අමාත්‍යාංශය පසුගිය සෙනසුරාදා සහ ඉරිදා දින වල ගංවතුර ආපදාවට නිරතුරු මුහුණදෙන ග්‍රාම නිලධාරී වසම්වල ග්‍රාම නිලධාරීවරුන් හමුවී ඉදිරි ආපදාවකදී ක්‍රියාත්මක විය යුතු ආකාරය පිළිබඳ ව පුහුණුවක් සහ උපදෙස් ලබා දී ඇත. එමෙන්ම එවැනි අවස්ථාවකට මුහුණ දීම සඳහා විපතට පත්වීමට ඉඩ ඇති ජනතාව සූදානම් විය යුතු ආකාරය සහ අත්‍යවශ්‍ය භාණ්ඩ ඇතුළත් 'ආපදා මල්ල' සූදානම් කර ගැනීම පිළිබඳව දැනුවත් කරන උපදෙස් පත්‍රිකාවක් බෙදා හැරීමටද කටයුතු කර තිබිණ. 117 හදිසි දුරකථන ඇමතුම් අංකය මහජනතාව අතර ප්‍රචලිත කිරීමටද මෙවර සමත්ව ඇත. ඉන් නොනැවතී නිසි වාර්තා තැබිමේ ක්‍රියාපටිපාටියක් අනුගමනය කරමින් කාර්යක්ෂමව ක්‍රියාත්මක වන ලෙස හදිසි මෙහෙයුම් මැදිරියේ ඇමතුම් මධ්‍යස්ථානය සවිමත් කර තිබේ.

පසුගිය දෙවසරේම ගංවතුර තත්ත්වය හමුවේ අනාරක්ෂිත බව නොසලකා මහජනතාව ගංවතුරෙන් යට වූ නිවෙස්වල වහළ මත සහ උස් ස්ථානවල රැඳී සීටීමෙන් සිදු වූ අනතුරු පිළිබඳ ව වැඩියෙන් වාර්තා වී තිබිණ. ගංවතුර තත්ත්වය පහව යෑමෙන් අනතුරුව මී උණ සහ වෙනත් වෛරස් රෝග පැතිර යාම නිසා මරණ කිහිපයක්ද වාර්තා විය. ජීවිත හානි පිළිබඳව මේ වසරේ මෙතක් වාර්තා වී ඇති දත්ත සලකා බැලූ විට ඒ තත්ත්වයේ වෙනසක් දැකිය හැකිය.

ඊයේ දිනය වන විට ගංවතුර තත්ත්වය සමහර ප්‍රදේශවල ක්‍රමයෙන් පහව යන තත්ත්වයකදී ගංවතුරෙන් හානි වූ පානීය ජල මූලාශ්‍ර සහ වැසිකිළි පද්ධති යථා තත්ත්වයට පත්කිරීමේ සැලසුමක් මේ වසරේදීම ක්‍රියාත්මක වෙතැයිද අපි බලාපොරොත්තු වෙමු.

මෙවර සංවතුර සහ නායයාම් තත්ත්ව හමුවේ රජයේ ක්‍රියා පිළිවෙතට ග්‍රාම නිළධාරී වසම් මට්ටමින් එලෙස ඇගයීම් සිදු වෙද්දි, ඇතිව ඇති ආපදා තත්ත්වය ගැන විවාදයක් අවශ්‍ය යැයි විපක්ෂය පවසයි.

ආපදා තත්ත්ව හමුවේ ජාති ආගම් කුල පක්ෂ ආදී සියලු භේද ඉවතලන අප සමාජය ගැන ශ්‍රී ලාංකික අප සැමවිටම කතා කරන්නේ ආඩම්බරයෙනි. එය අපගේ ජානගත යහපත් ලක්ෂණයක් බව විදෙස් මාධ්‍ය පවා ප්‍රසංශා කළ අවස්ථා බොහෝ ය. එලෙස එකාවන්ව නැඟී සිට සිදුව ඇති විපතින් සහෝදර ජනතාව මුදා ගැනීමේ ප්‍රමුඛතම වගකීම පසෙක දැමීමට විපක්ෂය දැන් කටයුතු කර ඇත. සිය පටු අවස්ථාවාදී දේශපාලන වුවමනාවන් වෙනුවෙන් ආපදා අවස්ථාවක් ප්‍රයෝජනයට ගැනීම ඔවුන්ගේ මානසිකත්වයේ තරම කෙතරම් හොඳින් පිළිබිඹු කරනවාදැයි හොඳින් නිරීක්ෂණය කිරීමට මහජනතාවට මෙවර කදිම අවස්ථාවක් ලැබී ඇත.

මාතෘකා