අවදානමට පෙර සූදානම

අවදානමට පෙර සූදානම

ලංකාවට වැසි සක්‍රීය වන්නේ උතුරින් පිහිටන බෙංගාල බොක්කෙහි පවතින පීඩන වෙනස්කම් හේතුවෙනි. මෙලෙස ඇදහැලෙන වර්ෂාව ආකාර 2ක් යටතේ ලංකාවට සක්‍රීයව පවතියි. ඒ, නිරිතදිග මෝසම සහ ඊසාන දිග මෝසම ලෙසය. මේ පවත්නේ නිරිතදිග මෝසම් තත්ත්වයයි. අන්තර් නිවර්තන අබිසරණ කලාපය ජුනි මාසයේදී උතුරට ගමන් කිරීම නිසා එහි ඇති වන අඩු පීඩනය පිරවීම සඳහා ඉන්දියන් සාගරයේ දකුණු ප්‍රදේශයේ සිට උතුරට සුළං හමායාම සිදු වෙයි. මෙහිදී මෙම සුළං දහරාව ශ්‍රී ලංකාවේ නිරිත දෙසින් රට තුළට ඇතුළු වී ඊසාන දෙසින් පිටවී යයි. ඒ යන්නේ මහ වැසි සේම තද සුළං ඇති කරමිනි.

කෙසේ වෙතත් සිදුවෙතැයි අනුමාන කළ මහා ව්‍යසනය සොබාදහමේම පිහිටෙන් දුරස් වන සෙයක් දකින්නට තිබේ. එය සකල ජනයාගේම හිත සුව වන තත්ත්වයකි. කෙසේ වෙතත් අන් කවරදාටත් වඩා සක්‍රීයව රාජ්‍ය යාන්ත්‍රණය ක්‍රියාත්මක වූ සහ ක්‍රියාත්මක වීමට සූදානමින් සිටි තත්ත්වයක් මෙවර දකින්නට ලැබීම ප්‍රශස්තය. අවදානම්සහගත බවට ඉඟි පළ වීමත් සමඟම ජනපති, අගමැති ප්‍රමුඛ රජය අවශ්‍ය අංශවලට නිසි උපදෙස් ලබාදුන් අතර පූර්ව සූදානම උදෙසා එකී උපදෙස් බෙහෙවින්ම මහෝපාකාරී විය. විපතක් සිදුවීමෙන් පසු ඊට ප්‍රතිකර්ම සොයනු වෙනුවට සිදුවෙතැයි අපේක්ෂිත විපතට පෙරාතුව ඊට විසඳුම් සැපයීම මින් පෙර සිදු නොවූවිරූ තත්ත්වයකි. ඒ නිසාම බොහෝ විපත් සිදු වූ අතර විපතින් පසු ඊට හේතු කීම පමණක් දැකිය හැකි විය.

පූර්ව අනතුරු ඇඟවීම් ජනතාව වෙත ලබාදීම, අනතුරුදායක ස්ථානවලින් ඉවත් වන ලෙස ජනතාවට නියෝග කිරීම, එසේ නිවැසියන් ඉවත් කරන නිවාසවලට ආරක්ෂාව ලබාදීම යනාදී වශයෙන් බොහෝ දේ රජය විසින් කළ යුතුව පවත්නා දෑය. මින් පෙර ඒ මැදිහත් වීම සිදු වූයේ මන්දගාමීවය. නමුත් මෙවර එසේ නොවීය. රාජ්‍ය සහ පුද්ගලික ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය වැනි සියලු ආයතන මේ මොහොතේ සූදානම්ව තැබීමට රජය මැදිහත් විය. අනපේක්ෂිතව මුහුණදීමට සිදු වූ හදිසි ආපදා තත්ත්වය කළමනාකරණය කර ගනිමින් ජනතාවගේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පිහිටුවන ලද විශේෂ ජනාධිපති කාර්ය සාධන බළකාය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී රැස් විය. විෂයභාර අමාත්‍යාංශය පැය විසිහතරම ක්‍රියාත්මක ස්වරූපයක් ගත්තේය. සහන නිලධාරීන්, සහන සේවා, උපදේශන සේවා වැනි සියල්ල තීරණාත්මකව මැදිහත් විය. සෙසු අමාත්‍යාංශ සහ ආයතන ඊට සමගාමීව ස්වකීය මැදිහත්වීම කළේය. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සියලු ග්‍රාමසේවා නිලධාරීන් වෙත බලය පවරනු ලැබුවේ ආපදා සහන කටයුතු විධිමත් කරනු පිණිසය. අධ්‍යාපන අමාත්‍යාංශය සිය වගකීම අකුරට ඉටුකරන තත්ත්වයක් දැකිය හැකි විය. සියලුම රාජ්‍ය මාධ්‍ය ආයතන විසිහතර පැය අවදියෙන් ජනතාව දැනුම්වත් කරනු ලැබීය.

මේ රටේ තිබුණේ වාර්ෂිකව හෝ යාවත්කාලීන නොවූ වෙබ් අඩවියක් තිබූ අක්‍රීය ආපදා කළමනාකරණ අමාත්‍යාංශයකි. එමතු නොව, බොහෝ විට ආණ්ඩු මෙවැනි ව්‍යසනවලින් පසුව බලාපොරොත්තු වන්නේ විදෙස් ආධාරයන්ය. එහෙත් ක්‍රමවේදයන්හි පැවැති අක්‍රමවත් බව නිසා ලැබෙන ආධාර ටික හෝ කළමනාකරණයට ආණ්ඩුවලට හැකියාවක් තිබුණේ නැත. සුනාමියෙන් පසු ආපදා කලමනාකරණය ගැන වෙනත් කෝණයකින් බැලීමට යොමු වූ අතර නව මාධ්‍ය ඔස්සේ පූර්ව අනතුරු ඇඟවීම් ලබාදීමට 2016 වසරේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරම්භ කරනු ලැබිණි.

අන්තර් ආයතන අතර පවත්නා සහයෝගය සහ මැදිහත් වීම මෙවැනි තීරණාත්මක අවස්ථාවල අතිශයින් වැදගත් වන අතර එකී මැදිහත් වීම මෙවර ප්‍රශස්ත ලෙස සිදු විය. ඒ නිසා ආපදා කලමනාකරණය පැත්තෙන් රජය නව්‍ය ලෙස අවතීර්ණ වී සිටීම ප්‍රශස්තය.

මාතෘකා