වගකීම් සහගත වීම

වගකීම් සහගත වීම

වර්ෂ කිහිපයකට වරක් චීනයේ 'කහ ගඟ' දෙගොඩතලා යයි. දෑ ඉවුර පසු කරන දිය කඳ ගංගා නිම්නය ආලපාලු කොට දමයි. මේ පිළිබඳව දන්නා ගඟ දෙපස සිටින චීන්නු ඊට අනුගතව ජීවත් වෙති. ව්‍යසනය නාසය අසලට ගොඩවදින තුරු නොඉඳ ඔවුහු නිරන්තර 'සූදානම් ශරීරයෙන්' කටයුතු කරති. කලකට පසුව චීනය සාරවත්ම අස්වැන්න නෙළන්නේත් ගංවතුර දෙගොඩතලා ගිය මිටියාවතෙනි.

ඔවුන්, විපත සැපතක් බවට පත් කරගන්නේ එහෙමය.

කෙසේ වෙතත් ශ්‍රී ලාංකේය ජන සමාජය තවමත් ස්වාභාවික ආපදා පිළිබඳව සිටිනුයේ ගතානුගතික මට්ටමකය. තවදුරටත් ශ්‍රී ලංකාව ස්වභාවික ව්‍යසනයන්ට ලක් නොවන 'ආරක්ෂිත' රටක් ලෙස ලුහුඬින් කල්පනා කරන තාක් කල් එකී ගතානුගතික ආකල්පයෙන් මිදෙන්නේ නැත.

එහෙත් සත්‍යය ඊට වඩා වෙනස්ය.

වසර 2004 දෙසැම්බර් මස 26 වන දින සිදු වූයේ ඉතිහාසයේ විශාලතම ස්වභාවික ඛේදවාචකයයි. ඒ 40,000කට අධික ජීවිත සංඛ්‍යාවක් සදහටම අපෙන් වෙන් කළ සුනාමි ව්‍යසනයයි. එය අප වෙත කඩා වදින තුරුම අප සිටියේ 'මුහුද ගොඩ ගැලීම' නැමති ඉතිහාසගත කල්පිතයක වෙළෙමින්ය. ශ්‍රී ලංකා ආපදා කළමනාකරණ පනත හඳුන්වා දෙන්නේත් ඒ ව්‍යසනයෙන් පසුවය. මෑතක සිට එක පෙළට සිදු වෙමින් පවතින ව්‍යසන සාමාන්‍යයෙන් සෑම වසරකම අනුමාන කළ හැකි මට්ටමට පත්ව තිබේ. ඒ නිසා මේ තත්ත්වය නුපුරුදු ආගන්තුක තත්ත්වයක් ලෙස නොසලකා සුපුරුදු තත්ත්වයක් ලෙස සැලකීම වඩාත් වටී.

ආපදා අවස්ථාවලදී විනාශ වූ ජීවිත හා දේපළවලට වන්දි ගෙවීම සඳහා රජය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ වැඩපිළිවෙළ මෙහිදී සිහිපත් කිරීම වටී. ඒ යටතේ රටේ සෑම පුද්ගලයෙකුම හා දේපළක්ම ආවරණය වන පරිද්දෙන් මුළු රටම රජය විසින් 'රක්ෂණය' කොට තිබේ.

ඉකුත් වසරවල මෙවැනි ව්‍යසනවලදී අමාත්‍යාංශ වගකීම් සම්බන්ධයෙන්ද නොගැළපීම් තිබිණි. ආපදා කළමනාකරණ අමාත්‍යාංශය ආපදා පිළිබඳව දැනුම්වත් වන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව හරහාය.

‘‘අපි ගංවතුරක් ගැන අනතුරු අඟවන්නේ මෙහෙමයි. අපේ ඉහළ ජල ධාරාවලට වැටෙන වැස්සේ ප්‍ර‍මාණය අනුව, නාගලගම්වීදියේ ජල මාපකයේ ජලමට්ටම කොච්චර වැඩි වෙයිද කියන එක අපට කියන්නේ වාරිමාර්ග දෙපාර්තමේන්තුව. ඒ දත්ත අරගෙන තමයි අපි කාලගුණ නිවේදනයක් හැටියට ගංවතුර තත්වයක් ඇති වෙනවා කියලා කියන්නේ…”

(2016 මැයි 25 හැන්සාඩ් වාර්තාවේ පිටු අංක 51 විෂය භාර අමාත්‍ය අනුර ප්‍රියදර්ශ යාපා)

ඒ දෙක අතර සබඳතාව හීන වන විට තත්ත්වය අවාසනාවන්ත වෙයි. එහෙත් මෙවර තත්ත්වය ඊට වෙනස්ය. විෂය පථ දෙකම එකම අමාත්‍ාංශයට පැවරී තිබේ. ඇතැමුන් අවඥාවෙන් සමච්චල් කළ 'විද්‍යාත්මක' අමාත්‍ාංශවල වැදගත්කම මතු වන්නේ මෙවැනි අවස්ථාවලය.

මේ වන විටත් රටේ සැලකිය යුතු ප්‍රමාණයක් කිසියම් ආපදාකාරී පීඩාවකට ලක්ව තිබේ. මේ මොහොතේ මූලිකව අවශ්‍ය වන්නේ එකී ව්‍යසනයෙන් ගොඩ එනු පිණිස වගකීම් සහගතව මැදිහත් වීමය.

මාතෘකා