කල් යල් බැලීම

කල් යල් බැලීම

මෑත කාලීන වසර කිහිපයේම මැයි, ජූනි දෙමාසය ස්වභාවික විපත් සිදු වූ කාල සමයක් ලෙස හඳුන්වා දිය හැකිය. නිරිත දිග මෝසම මැයි මාසයේ මැද සිට ඔක්තෝම්බර් දක්වා මාලදිවයින, ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු නිවර්තන කලාපීය ආසියාතික රටවල් රැසකට බලපාමින් වැසි ගෙන දෙන සමයකි. මේ අතරින් ශ්‍රී ලංකාව දැඩි බලපෑමට ලක්වන්නේ මැයි, ජූනි දෙමාසය ප්‍රමුඛ කොටගෙනය. ඉකුත් දෙවසර තුළ අතිමහත් විපත් රැසක් මේ කාලයේ සිදු වූ අතර ඉන් ශේෂ වූ අහිමිවීම් සුළුපටු නොවීය. මෝසම් සමය සක්‍රීය වීමත් සමඟ උදා වන වර්ෂාව සහ සුළඟ ඇතැම් ප්‍රදේශ ආක්‍රමණය කරන්නේ වියරු වේශයෙන්ය. එකී ආක්‍රමණවල සාහසික ප්‍රතිපල අතිශය පීඩාකාරිය.

ස්වභාවික උවදුරු පුළුල් කාණ්ඩ දෙකකට බෙදා ගත හැකිය. භූ භෞතික උපද්‍රව භූමිකම්පා, වෙරළ ඛාදනය, ගිනි කඳු පිපිරීම්, සුළි කුණාටු හා නියඟය වැනි භූ විද්‍යාත්මක හා කාලගුණ විද්‍යාත්මක සංසිද්ධිවලින් සමන්විත වේ. කෙසේ වෙතත් භූ විද්‍යාත්මක පිහිටීම් හේතුකොටගෙන ශ්‍රී ලංකාව මේ සියලු උපද්‍රවවලට ලක්වීමේ අවදානම් කලාපයට අයත් නොවුණත්, මින් කිහිපයකට මුහුණ දීමේ අවදානමෙන් මිදෙන්නට හැකියාවක් නැත.

මීට දශක කිහිපයකට පෙර අප රට ඉලක්ක කොට කඩා වදින ස්වභාවික ව්‍යසන ප්‍රමාණාත්මකව අඩු වුවත් මෑතක සිට තත්ත්වය වඩා සංකීර්ණ මුහුණුවරක් ගෙන තිබේ. දිනෙන් දින ඉහළ යන ස්වභාවික ආපදාවන් හේතුවෙන් ඒවා කළමනාකරණය කරගන්නා ආකාරය පිළිබඳ විශාල කතිකාවක් රට තුළ නිර්මාණය වී තිබේ. ස්වභාවික විපත් කල්තියා හඳුනාගැනීමට උපකාරී වන නවීන තාක්ෂණය කෙරෙහිද මේ මොහොතේ විශේෂ අවධානයක් යොමු වී තිබේ. එසේම ස්වභාවික උපද්‍රව කල්තියා දැනුම් දී තිබියදී එම ස්ථානවලින් ඉවත් නොවන අය සම්බන්ධයෙන්ද කටයුතු කිරීම සඳහා නව නීති හඳුන්වා දීම පිළිබඳවද අවධානය යොමු වී ඇත.

ආපදා කළමනාකරණය ලෙස හඳුන්වනු ලබන්නේ ස්වභාවික සහ වෙනත් ආපදාවකදී ඊට මුහුණ දීම සඳහා වන පෙර සූදානමයි. ඒ සඳහා සැලසුමක් අවශ්‍ය වේ. කෙසේ වෙතත් එකී කළමනාකරණය සම්බන්ධව මෙරට සමාජය තවදුරටත් දක්වන්නේ පසුගාමී ප්‍රතිචාරයකි. අවම කිරීම, පෙර සූදානම, ප්‍රතිචාරය, නැවත යථා තත්ත්වයට පත්කිරීම යන කාරණා මුල්කොටගත් 'ආපදා කළමනාකරණයේදී' තවමත් පෙර සූදානම සම්බන්ධව සමාජය එතරම් සැලකිය යුතු මට්ටමකින් ඉදිරිගාමී නැත. ඒ නිසාම ව්‍යසනය හිස උඩට පාත්වන තුරු කිසිවෙක් සැලකිලිමත් වන්නේ නැත. වරද අනෙකා පිට පවරා වේදනාවෙන් දෙස්දෙවොල් තැබීම සාමාන්‍ය ක්‍රමවේදය වී තිබේ.

2012 වසරේ ගංවතුර සහ නායයෑම් මිනිස් ජීවිත 40කට ආසන්න සංඛ්‍යාවක් අහිමි කළ අතර ලක්ෂ තුනක් වූ ජීවිත උන් හිටි තැන් නැති තත්ත්වයට පත් කරනු ලැබීය. 2014 දී මේ ආපදා තත්ත්වය ජීවිත 20ක් බිලිගත් අතර 2015 මිනිස් ජීවිත 10ක ඉරණම ස්වභාවික ව්‍යසන විසින් තීන්දු කරන ලැබිණි. 2016 වසරේ නායයෑමෙන් 100කට වැඩි සංඛ්‍යාවකට ජීවිත අහිමි කළ සොබාදහම ඉන් 301,602 විතර පිරිසක් අවතැන් කළේය.

මෙයින් ගම්‍ය වන්නේ ව්‍යසනවල හානිදායක ප්‍රතිඵල වසරින් වසර වර්ධනය වන ආකාරයයි. එහෙත් ඊට සාපේක්ෂව සූදානම් වීම මන්දගාමී තත්ත්වයක පැවතීම අවසන් ප්‍රතිඵලය ලෙස ඉතිරි කරනුයේ ඛේදාන්තයකුයි. ජපානය, චීනය වැනි රටවල් වර්ෂයක් පාසාම විශාල ලෙස භූ කම්පන, නායයෑම් ගංවතුර වැනි හදිසි ආපදාවන්ට ලක් වේ. නමුත් ඔවුන් එම ආපදා තත්ත්වය හොඳින් කළමනාකරණය කරගන්නට සමත් වේ. කෙතරම් ප්‍රබල අන්දමින් එම ව්‍යසනයන් ජනතාවගේ ජීවිතවලට බලපෑම් කළද සාපේක්ෂව මිනිස් ජීවිත අහිමි වන්නේ ඉතා අඩුවෙනි. අපේ රටට සාපේක්ෂව එය ඉතා පහළ අගයක් ගනී. ජපානය වැනි රටවල් ආපදාවන්ට මුහුණදෙමින් ජීවත්වීමට හුරුව ලබා ඇත. එය ඔවුන්ගේ සංස්කෘතියේම අංගයක් වී ඇත. අපේ රටේ ජනතාවට ආපදාවන්ට මුහුණ දෙන ආකාරය පිළිබඳ හුරුවක් නැත. එහි ප්‍රතිඵලය අප ස්වභාවික විපත් කැඳවාගැනීම සහ ඊට කැමැත්තෙන් බිලිවීමකි. ඒ නිසා අවදානම කෙරෙහි අවදියෙන් සිටීමත්, ඒ උදෙසා සූදානම් වීමත් වටිනේය.

මාතෘකා