නන්දොඩවන්නෝ

නන්දොඩවන්නෝ

ගෙවී ගිය යුද්ධයක ඉතිහාසගත 'වීරත්වය'ගැන බමන මතින් නන්දොඩවන සමහරු නැවත නැවත වෑයම් කරන්නේ 'අස්කොන්' අල්ලාගෙන 'ත්‍රස්තවාදී' රටක් බිහි කරන්නටය. උතුරේ මියගිය වුන් සැමරීමත්, දකුණේ එසේ නොකිරීමත් පිළිබඳව 'ඊනියා දේශප්‍රේමී' පිරිසකගේ සිත් රිදී ඇත. ඒ නිසාම ඔවුහූ ලද අවස්ථාවෙන් 'දෙන්නම් බැටේ' වර්ගයේ ප්‍රශ්න ටිකක් රාජිත අමාත්‍යවරයාට එල්ල කළහ. එකම රටක උනුන් මරාගත් ඉතිහාසයේ කතාව අනුව එක් පාර්ශ්වයක් 'වැරදි' බවට තමන්ම තීන්දුකොට ඒ ආස්ථානයේ සිට ඔවුන් ප්‍රශ්න දමා ගැසූහ.

තවමත් සමහරු හිතන්නේ උතුරේ සහ දකුණේ සිටින්නේ දෙවර්ගයක් කියාය.' මේ රටේ ඉන්නේ ජාතීන් දෙකකි. එකක් රටට ආදරේ ජාතියයි; අනෙක් පිරිස රටට ද්‍රෝහී ජාතියයි. 'එහෙම කී මහින්දලාම 'මේ ආණ්ඩුව ආවේ උතුරේ ඡන්දවලින් 'කියා උතුර ගැන පාරම් බෑම මොන තරම් නම් දීන ප්‍රතිපත්තියක්ද.?

එකී මතවාදය කරපින්නාගත් ඇතැම් මාධ්‍යකරුවන් හාර හාරා පාදන්නේ පැරණි තුවාලයයි. 'යුද්ධයේදී සිවිල් වැසියන් ඝාතනය වූ බව' කවුරුත් දන්නා කරුණකි. එය දෙපැත්තෙන්ම සිදු වූ අවාසනාවන්ත සිදුවීමකි. ලොව කොහේ කොතැනක යුද්ධයක් සිදුවුවද එකී අවාසනාවන්ත තත්ත්වය උද්ගත වෙයි.

ජනාධිපති රිචඩ් එම්. නික්සන් අත්සන තැබූ, ඇපලෝ 11 යානය, සඳ මතට රැගෙන ගිය සමරු ඵලක‍ෙය්. "අපි සියලු මනුෂ්‍ය වර්ගයා වෙනුවෙන් සාමය රැගෙන පැමිණියෙමු" යි එහි ලියා තිබේ. එක්සත් ජනපදය, පුපුරන ද්‍රව්‍ය මෙගාටොන් 7.5ක්, අග්නි දිග ආසියාවේ සුළු ජාතීන් මත හෙළනා මොහොතක, අපි අපේ මානුෂිකත්වය ගැන අපටම සුභාෂිංශනය කර ගතිමු...! යනුවෙන් 'කාල් සගාන්' පවසා තිබේ.

ඇත්තය!

වියරු වැටී මරා ගන්නා සියලු දෙනාම

අවාසනාවන්තයෝය. එය උතුර වේවා, දකුණ වේවා කොහේටත් අදාළය.

'දෙපැත්තෙම මැරුණේ අපේ දරුවෝ' කියා රාජිත අමාත්‍යවරයා පවසයි. එය 'සාහසික වරදක්'සේ උලුප්පමින් එතැන සිටි සමහර මාධ්‍යකරුවන් නැවත නැවත තවත් 'ලුණු ඇඹුල්' ටිකක් සොයයි.

මිනී මරණ කවුරුත් ත්‍රස්තවාදීන්ය. එය තේරුම් නොගත් මාධ්‍යවේදියෙක් අසන්නේ 'ජවිපෙ වගේද කොටි?'

කියලාය. රාජිත අහන්නේ 'ඒ දෙගොල්ල දෙගොල්ලක් වන්නේ සිංහල, දෙමළ නිසාද?' කියලාය.

'විජේවීර මහත්තයාගෙයි ප්‍රභාකරන් මහත්තයාගෙයි වෙනස්කම මොකක්ද' කියා අමාත්‍යවරයා විමසයි. 'ප්‍රභාකරන් මහත්තයා' කියා පැවැසීම බොහෝ දෙනෙකුට 'විශාල'වරදක් වී තිබේ. කරුණා අම්මාන් ගරු නියෝජ්‍ය අමාත්‍යවරයෙක් ලෙස අභිෂේක ගන්වා ශ්‍රීලනිපයේ උප සභාපති ලෙස පත්කරන මහින්දගෙන් 'එහෙම කළේ ඇයි?' කියා ඔවුන් විමසන්නේ නැත. පිල්ලෙයාන් මහ ඇමති කළේ ඇයි කියා ඔවුන් විමසන්නේ නැත;

කේ.පී.ට රැකවරණ දුන්නේ ඇයි කියා විමසන්නේ නැත. හමුදා මූලස්ථානයේ ඉඩම විකුණා දමා එහි ගොඩනැඟූ ෂැන්ග්‍රිලා හෝටලයේ කාමරයක සිට 'දේශීය ආර්ථිකය ගොඩනඟන' හැටි ගැන දෙසුම් පවත්වන 'වියත් මගේ' අයගේ ව්‍යාජ දේශප්‍රේමය ගැන කිසිවෙක් ප්‍රශ්න කරන්නේ නැත.

ආඩම්බර විය හැකි කිසිවක් නැති සෑම කාළකණ්නි මෝඩයකුම අවසාන තුරුම්පුව ලෙස තමන් අයත් වන ජාතියේ ආඩම්බරය යොදා ගනියි. ඒ ජාතියේ සියලු වැරදි සහ මෝඩකම් වෙනුවෙන් සිය සකල ශක්තියෙන් පෙනී සිටීමට ඔහු සතුටින් සූදානම්ය. එහෙත් ඔහුට ඒ වෙනුවෙන් පෙරළා ලැබෙන්නේ තමන්වම පහතට පිරිහෙළනු ලැබීම පමණි, කියා කියමනක් තිබේ.

යුද්ධයේ නටබුන් මත සිටගෙන 'භෂ්මාවශේෂ' සොයන සියලු දෙනාටම කිව යුත්තක් තිබේ. ඒ "යුද්ධය" යනු සංවිධානාත්මක මනුෂ්‍ය ඝාතනයකි; අන් කිසිවක් නොවේ! යනුවෙන් පළමු ලෝක යුද්ධයේදී සටන් වැදුණු අය අතරින් ඉතිරිව සිටි පිරිසෙන් දිගුම කලක් ජීවත් වූ සොල්දාදුවා වන 'හැරී පැච්'කී වදනයි.

මාතෘකා