රාජ්‍ය සේවයේ අලුත් පත්වීම්

රාජ්‍ය සේවයේ අලුත් පත්වීම්

වි රාජ්‍ය කළමනාකරණ සේවය සඳහා අලුතින් 4511 දෙනකු හට පත්වීම් ප්‍රදානය පසුගියදා සිදු විය.මේ උත්සවයට සහභාගි වූ රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ ඇමතිවරයා ශෝචනීය පුවතක් අනාවරණය කළේ ය. එනම් රැකියා අපේක්ෂාවෙන් දිනකට ඉල්ලුම්පත් 400_500 අතර ප්‍රමාණයක් ලැබෙන හෙයින් ඒ ප්‍රශ්නයට විසඳුම් සෙවීම ප්‍රධාන අභියෝගයක් බවය. මේ වන විට රැකියා විරහිත උපාධිධාරිහු 47000ක් දෙනාද රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරමින් සිටිති.

සැලකිය යුතු පිරිසක් රාජ්‍ය සේවයට අන්තර්ග්‍රහණය කර ගැනීම එක් අතකින් සන්තුෂ්ටිය දනවන්නකි. අනෙක් අතින් දැනටම ප්‍රමාණය ඉක්මවා සිටින රාජ්‍ය සේවක සංඛ්‍යාව ඵලදායි ලෙස කළමනාකරණය කරගැනීමේ අභියෝගය නැවත වරක් දෑස් මත්තට ගෙන ඒමකි.

මේ රජය නව රැකියා ලබාදී නැති නමුත් තම පාලන සමයෙහි රාජ්‍ය සේවය සඳහා ලක්ෂ ගණනක් බඳවා ගත් බව ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ උදම් අනති. එහෙත් රටේ ජන සංඛ්‍යාව අනුව බලන විට අවශ්‍යතාව ඉක්මවූ වෘත්තිකයන් සංඛ්‍යාවක් බඳවා ගැනීමෙන් ඒ රජය ආර්ථිකයට ඔරොත්තු නොදෙන බරක් එක් කළේය. එමෙන්ම ඵලදායි ලෙස සේවාවන්ට අනුයුක්ත නොකිරීමෙන් විශාල අර්බුදයක් නිර්මාණය කළේය.

2010 දී 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන එමින් ස්වාධීන කොමිෂන් සභා අහෝසි කිරීමෙන් පසුව රාජ්‍ය සේවකයා දේශපාලන වහල් මිනිසකු බවට පිරිහෙළනු ලැබීය. වංචාව, දූෂණය හා අල්ලස රාජ්‍ය සේවය ගිලගත්තේය. එය කෙතරම් බියකරු වීද යත් පසුව ජනාධිපති ලේකම්වරයාට ද අධිකරණයට යෑමට සිදු විය.

මේ අනුව වත්මන් රජය බලයට පත්වන විට රාජ්‍ය සේවය යාවත්කාලීන කිරීමේ අවශ්‍යතාව දැඩි ව පැන නැංගේ ය.19 සංශෝධනයෙන් ස්වාධීන කොමිෂන් සභා ස්ථාපිත කිරීම ඔස්සේ රාජ්‍ය සේවය ස්වාධීන කිරීමේ පළමු පියවර තැබිණ.වැටුප් විෂමතා දුරු කිරීම සඳහා පියවර ගැනිණ. පුනරාවර්තන වියදම අධික වුවද රාජ්‍ය සේවකයන්ගේ වැටුප් රු.10000 කින් වැඩි කිරීම ඔවුන් ලද අස්වැසිල්ලකි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ එය මූලික වැටුපට එක්කිරීමය. එය කොටස් වශයෙන් එක් කිරීමේ තීන්දුවක් ගනු ලැබීය. එමෙන්ම විශ්‍රාම වැටුප් විෂමතා දුරුකිරීමේ ගැටලුවට ද පිළියම් යොදමින් පවතී.

පසුගිය පාලන සමයෙහි උපාධිධාරීන් ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවයට අනුයුක්ත කිරීම අපතේ ගිය ආයෝජනයක් විය. නියමිත වගකීම් පැවරීමක් නොකෙරිණ. මෙසේ රාජ්‍ය සේවකයන්ගේ ඵලදායිකත්වය පිළිබඳ ගැටලුව සමස්ත ප්‍රතිසංස්කරණයක අවශ්‍යතාව මතු කළේය.

එය මනා සැලසුම් සහගත වැඩපිළිවෙලක් අනුව කළ යුතු වේ.

දේශපාලන අතපෙවීම්වලින් තොර නිදහස් රාජ්‍ය සේවයක පදනම වැටී තිබීම ඒ සඳහා ඇති හොඳ ම පදනම වේ.

තොරතුරු පනත ක්‍රියාත්මක වීමෙන් පසුව රජයේ ආයතනවලට අවශ්‍ය තරම් තොරතුරු නිලධාරීන් බඳවා ගැනීමේ ප්‍රශ්නය ඇති විය. මෙය ඇතැම් රජයේ ආයතනවල තවමත් විසඳී නැත. නව පත්වීම් ලබා දීමේදී මෙන්ම ලබාදී ඇති පත්වීම් ඵලදායක කිරීමේදී මෙබඳු අවශ්‍යතා සැලකිල්ලට ගත යුතුය.

කාර්යක්ෂමතාව අතින් බැලූ විට තවමත් රාජ්‍ය සේවය පවතිනුයේ පුද්ගලික අංශයට පහළිනි. මෙය ද වෙනස් විය යුතුය. රාජ්‍ය සේවය දේශපාලන බලපෑම්වලින් නිදහස් ව ක්‍රියාත්මක වීමට පදනම දැමීම පිළිබඳ ව වත්මන් රජය පැසසුමට ලක් විය යුතුය.

මාතෘකා