මේ  හැරෙන්නෙ කොහාටද?

මේ  හැරෙන්නෙ කොහාටද?

වියත්මග වාර්ෂික සම්මේලනය නමින් හැඳින්වූ සම්මන්ත්‍රණයක් පසුගියදා ෂැංග්‍රිලා හෝටලයේදී පැවැත්විණ. රට ඉදිරියට ගෙන යෑම සඳහා නිර්භයව තීන්දු ගන්නා ශක්තිමත් නායකත්වයක් අවශ්‍ය බව සමුළුව අමතා කතා කළ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළේය. එයින් අන්‍යාලාපයෙන් කියැවෙන්නේ වත්මනෙහි එවැනි නායකත්වයක් නොමැති බවත් තමාට නායකත්වය ලබා දීම ඊට විසඳුම බවත්ය. මේ කතා අසා සිටින පෘතග්ජනයන්ගේ හදවත් භීතියෙන් මුසපත් වීමට ඉඩ ඇත්තේ සුදු වෑන් මතක් වීමෙනි. ශක්තිමත් නායකත්වයෙහි රඟ පෙනුණේ එහෙමය. තම නිවාස අහිමි කිරීමට එරෙහිව ආරක්ෂක අංශ සමඟ හැප්පුණු වනාතේ සුනිල් මහ දවාලේ උස්සාගෙන ගිය අයුරු කාටත් අමතක නැත. හිටපු ආරක්ෂක ලේකම්ට නොදැනී මැස්සකු හටවත් කොළඹට උඩින් පියාසර කළ නොහැකිවූ යුගයක් විය. මේ සියල්ල සිදු වූයේ රට, ජාතිය, ආගම කුමන්ත්‍රණකරුවන්ගෙන් බේරා ගැනීමේ මුවාවෙනි.

ජාතික ආරක්ෂාවට තර්ජනයක් ඇතැයි යන ප්‍රවාදය මතු කරමින් විරුද්ධවාදීන් මර්දනය කිරීම, එකල පොදු ලක්ෂණයක් විය. ගෝඨාභය රාජපක්ෂගේ මිග් යානා ගනුදෙනු හෙළි කළ ලසන්ත වික්‍රමතුංග ඝාතනය කෙරුණේ අධි ආරක්ෂක කලාපයේදීය. යුද්ධය උත්සන්න මොහොතේ ජාතිය ඇමතූ හිටපු ජනපති ප්‍රකාශ කළේ එය රජය අපහසුතාවට පත් කිරීමට කළ කුමන්ත්‍රණයක් බව ය.කුමන්ත්‍රණකරුවන් සතියක් ඇතුළත අල්ලන බවය. ඒ සතිය තවමත් ගතවී නොමැත.

මේ ටික සිහිපත් කළේ වියත්මග නියමුවන්ට අතීතය සිහිපත් කිරීම පිණිසය. ෂැංග්‍රිලා හෝටලයේ දෙසුම් පැවැත්වූ වියතුන්ගේ අදහස් අනුව පෙනී යන්නේ සංහිඳියාව යන වචනය ඔවුන්ට වහකදුරු වී ඇති බවය. හමුදා නිලධාරියකු වන කමල් ගුණරත්න සංහිඳියාවට සරදම් කරමින් යුද වීරත්වය ඉස්මතු කළේය. යුද්ධයෙන් පසුව සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ට කිරීමට අසමත් වීම සම්බන්ධයෙන් අල්පමාත්‍ර හෝ පසුතැවීමක් මේ වියත් පාර්ශ්වයන්ට නැත.

යහපාලන ආණ්ඩුවේ ඇතැම් සම්මුතීන් ක්‍රියාත්මක වීමේ ප්‍රමාදය නිසා මහජන විශ්වාසය යම් පමණකට පළුදු විය. එමෙන්ම පාර්ශ්ව දෙක අතර විවේචනද මහජන විශ්වාසය යම් පමණකට පළුදු කළේය. මේ නිසා රටේ දේශපාලන අරාජිකත්වයක් පිළිබඳ මතයක් ඇති කිරීමට බලය ගිලිහුණු පාර්ශ්වවලට හැකි විය. එසේ වුවද ප්‍රතිවිරෝධතා මධ්‍යයේ වුවද රටේ අනාගත යහපතට හේතුවන තීන්දු ගණනාවක්ද ක්‍රියාත්මක විය. ඒවා මහජනයා අතර එතරම් ජනප්‍රිය නැත. මේ සියලු තත්ත්වයන් වාසියක් කරගනිමින් ආණ්ඩු විරෝධී පාර්ශ්ව සංවිධානය වීමට මාන බලයි. වියත්මග සමුළුවෙන් පෙනෙන්නේ එයයි. එහෙත් එය අනාගත දැක්මක් නැති බාල සටන්පාඨ අවියක් කරගත් ඇටවුමක් පමණි.

ඉහවහා ගිය රාජ්‍ය දේපල මංකොල්ලය, අවනිතීය, පවුල් පාලනය, ව්‍යාජ දේශප්‍රේමය සමග පැටළී ගිය දුර්දාන්ත පාලනයක් නැවත ඇතිවනු දැකීමට මෙරට යුක්ති ගරුක ජනතාව සූදානම් නැත.

එමෙන්ම ජනවාරි 8 වෙනසට දායක වූ සමාජ තීරු තවමත් සාධාරණ සමාජයක් වෙනුවෙන් අරගල කරති. වියත් මග ඊට ප්‍රතිපක්ෂය.

මේ රටේ ජනතාවට මාර්ග දෙකකින් එකක් තෝරා ගැනීමට දැන් සිදු ව තිබේ. ඒ වියත්මග ගෙන එන යුද්ධයද, නැත්නම් යහමඟ පෙන්වන සාමය ද යන්නය. සැබවින්ම රටක් ප්‍රගතිශීලී වන්නේත්, දියුණු වන්නේත්, ඉදිරිගාමී වන්නේත් ආදරණීය හදවත්වලින් නැගෙන සාමයේ සුමිහිරි ගීතයෙන් මිස යුද්ධයේ විලාපයෙන් නොවන බව සියලු දෙනා තේරුම් ගත යුතුව ඇත.

මාතෘකා