‘අම්මාට නිදහසේ ඉන්න දෙන්න’

‘අම්මාට නිදහසේ ඉන්න දෙන්න’

මීට වසර කිහිපයකට පෙර එක් මවකට සිය පියයුරක බරපතළ තුවාලයක්‌ සහිතව මහනුවර මහරෝහලට ඇතුළත් වීමට සිදු වුණි. සිදුව තිබුණේ කුමක්ද? බීමත්ව පැමිණි ඇගේ පුතු ඇගේ ගෙලෙන් අල්ලා මල් කපන පිහියකින් එක්‌ පියයුරක්‌ කපා බරපතළ තුවාල සිදු කිරීමය. සාහසිකයාට තිබුණේ ඉඩම් ආරවුලකි. එසේම මීට ආසන්න කාලයක රත්නපුර ප්‍රදේශයේ මවක් මියගියාය. ඇගේ අවමඟුලට පිරිස් පැමිණිමුත් දින කිහිපයක්ම ඇගේ අවසන් කටයුතු කෙරුණේ නැත. මේ ගැන බොහෝ දෙනා විමසන්නට වූහ. සිදුවී තිබුණේ මියගිය කාන්තාවගේ පුතු මළගම මුවාවෙන් ගම්වැසියන්ට ‘බූරුවා’ ගසන්නට නිවස තෝන්පොළක් කොට දීමය.

අම්මා ගැන අනේක විධ නිර්මාණ මෙරට බිහි වී ඇත. අප්‍රමාණ දෑද ලියැවී ඇත. උදාන වාක්‍යයක් සේ මවගේ උදාර ගුණකඳ තෙරක් නැති තරම් කතා කොටද ඇත. එහෙත් මේ කුඩා කොදෙවුවේත් ඉහත කී වර්ගයේ පුත්තු සිටිති.

මව කාටත් කලින් අවදිවන්නීය. දහසකුත් එකක් දුක් උහුලන්නීය. පිරිපත වේදනා සඟවාගෙන, ආයාසයෙන් සිනාසී අනෙකාගේ නෙතඟ කඳුළු පිසින්නීය. තමන්ගේ ජීවිතයෙන් ජීවිතයක් දිය හැකි යමෙක් ලොව වෙත් නම් ඒ අම්මා ය. ‘ලෝක මව්වරුන්ගේ දිනය’ ඊයේට යෙදී තිබුණි. සමාජ ජාල මතුයෙහි මින් පෙර කවරදාකටත් වඩා උත්ප්‍රාසයෙන් යුක්තව තබන ලද සටහන් මුහුණුපොත පුරා සැරිසරමින් තිබිණි. මව් සෙනෙහස කුළුගන්වනු පිණිස තබන ලද සටහන් සේම ඒ පිළිබඳ ඊනියා රැඩිකල් බවකින් විවේචනය කරන ලද සටහන්ද ඒ අතර විය. සාමාන්‍යයෙන් යමෙකු මතු කරන කරුණක් කරතබාගෙන යාමට රිසි පිරිසක් කොතැනත් සිටිති. ඒ බොහෝ දෙනා මේ ‘සිහිකැඳවීම්’ ගැන සවිඥානිකදැයි කියන්නට දන්නේ නැත.

මව පිළිබඳ සමාජ, සංස්කෘතික හා ආගමික වශයෙන් පවතින නිර්වචනයන්හි හා භූමිකාවන්හි සංකීර්ණභාවය හා විවිධත්වය නිසා මව යන්නට විශ්වයම පිළිගත් නිර්වචනයක් ලබාදීම අභියෝගාත්මකය. එහෙත් සරල අර්ථයෙන් ගත් කල මිනිසාට ජීවිතය දෙන්නේ අම්මාය. ඉතිං අම්මා ගැන අප කතා කළ යුතුය. එය වෙනම කතාවකි. මානව බැඳීම් කෙරෙහි ආදරණීය වීම වඩාත් සුන්දර ලෝකයක් උදෙසා නිබඳවම හේතු වෙයි. මානව දයාව තුළින් ‘උතුම් මිනිස් දම්’ පිරි සමාජයක් බිහිවීම සාධනීයය. එහෙත් එය කෘත්‍රිමව මතුකොට ගොඩනඟන ‘රැල්ල’ ඊට වඩා වේගයෙන් ආපසු හැරීම ස්වභාවිකය.

“කනගාටු නොවන්න, ඔබේ කරත්තය පෙරළුණු පසු බොහෝ දෙනා එය නිවැරදිව පැදවිය යුතු ආකාරය ඔබට කියා දීමට ඉදිරිපත් වනු ඇත.” මේ ජීන් සැසන්ගේ Love in a Torn Land' කෘතිය තුළ එන කුර්දි පිරුළකි. අම්මා සම්බන්ධව හිටිගමන් මතු වන කතාබහ ගැනද තබන්නට ඇත්තේ එහෙම සටහනකි.

රැලි නිමාවී ව්‍යසනයේ ශේෂයන් අතරෙහි හිඳ සමහර විට යමෙකුට මෙහෙම කියන්නට සිතෙනු ඇත.

‘අම්මාට නිදහසේ ඉන්න දෙන්න.’

මාතෘකා