අධිකරණ පනතට බිය වීමේ ඝෝෂාව

අධිකරණ පනතට බිය වීමේ ඝෝෂාව

අධිකරණ සංවිධාන සංශෝධිත පනත මේ දිනවල ඇතැම් පාර්ශ්වවල කටවල් ඇවිස්සීමට හේතුවක් වී තිබේ. ඒකාබද්ධ විපක්ෂය මෙය හඳුන්වන්නේ දේශපාලන විරුද්ධවාදීන්ගෙන් පලිගැනීම සඳහා රජය විසින් කරනු ලබන කුමන්ත්‍රණයක් ලෙසය. මේ පිළිබඳ විරෝධය දක්වන්නෝ විශේෂ අධිකරණයට පමණක් නොව පවතින අධිකරණයටද බියෙන් පසුවෙති. ඊට විශේෂ හේතු තිබිය හැකිය. හොරාට කලින් කෙහෙල් කැන වැට පැන්නා වගේ යන පිරුළ ද මෙහිදී සිහිපත් වේ. පනත ඉදිරිපත් කරන්නට පෙර සිටම එන විරෝධයෙන් එම පිරුළට සහතිකයක් ලැබේ.

මේ පනත ගෙන ඒමේ මූලික අරමුණ වූයේ දීර්ඝ කාලයක් තිස්සේ දිග් ගැසෙන නඩු නිසා මහා පරිමාණ වංචා දූෂණවල යෙදුණු පුද්ගලයන් සුවසේ සිටීම අපරාධකරුවන්ට අනුබල සැපයීමය. මේ නිසා නඩු ප්‍රමාදය වැලැක්වීමේ විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය විය. විශේෂ මහාධිකරණ තුනක් පිහිටුවීමට හැකියාව ලැබෙන නව පනත් කෙටුම්පතක් පාලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවේ ඒ අනුවය.

මීට එරෙහි ව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් තුනක් ඉදිරිපත් විය. නීතිඥ සංගමය මෙහිදී අනුගමනය කළේ පක්ෂග්‍රාහී පිළිවෙතකි. ඊට බලපෑ කුප්‍රකට හේතු තිබිය හැකිය. මන්ද යත් දුෂණය සහ වංචාව දේශපාලනයට සීමා නොවී අධිකරණයට ද පැතිරීමය.

මේ පෙත්සම් විභාග කළ අධිකරණය ඊට සංශෝධන කීපයක්ද එක් කළේය. පාලිමේන්තුවේ අනුමැතියට ඉදිරිපත් කෙරුණේ මෙකී සංශෝධිත පනතය. ඒ වනාහී පිළිගත් ප්‍රජාතන්ත්‍රවාදී පිළිවෙතයි. එ් නිසා මෙයට එරෙහිව නැඟෙන චෝදනා පැහැදිලි දේශපාලන න්‍යාය පත්‍රයක් මත යටි අරමුණකින් ඉදිරිපත් වන බව කිව යුතුය. හිටපු අධිකරණ ඇමතිවරයා මේ සම්බන්ධයෙන් සෘණාත්මක පසුගාමී ස්ථාවරයක සිටි මුත් නව ඇමතිනී තලතා අතුකෝරල මහත්මිය පනත ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් උද්‍යෝගීවත්ව පෙනී සිටියාය. කාන්තාවක ලෙස මේ කාරණය සම්බන්ධයෙන් ඇයට තිබූ ධෛර්යය අවශ්‍යතාවේ තරමට මනාව පෑහිණි. ඒ නිසාම ඇගේ පිළිවෙත විවේචනයටද ලක් විය. දේශපාලනඥවරියක ලෙස දූෂණයට අවනීතියට එරෙහිව ඇයට තිබූ උනන්දුව අතිශය ප්‍රශංසනාත්මක වූ අතර එය නිරතුරුවම 2015 ජනවාරි 08 දා නිහඬ විප්ලවයක් සිදු කළ ජන බලවේගයේ අභිලාසයන් සමඟ ගැට ගැසී තිබිණි.

මෙහිදී, විශේෂ මහාධිකරණ සඳහා විනිසුරන් පත් කිරීම සිදු කෙරෙනුයේ ජනාධිපතිවරයා විසින් නොව අධිකරණ සේවා කොමිසන් සභාව විසිනි. රෙජීමය රට කරවූ සමයෙහි සම්මත කරගත් 18 සංශෝධනය තව දුරටත් තිබිණි නම් විනිසුරන් පත් කිරීම ජනපති අතින් සිදුවනු නියතය. එහෙත් ජනවාරි 08 ජයග්‍රහණයෙන් පසුව 19 වැනි සංශෝධනය මඟින් විධායක බලය සීමා කරමින් විනිසුරන් පත් කිරීමේ බලය යළි අධිකරණ සේවා කොමිෂන් සභාවට පැවරිණි. එනිසා හිටපු ජනපති නව පනත සම්බන්ධයෙන් නඟන චෝදනාව ලත් තැනම ලොප් වෙයි.

19 වැනි සංශෝධනය පාර්ලිමේතුවෙන් සම්මත වූයේද ඒකාබද්ධ විපක්ෂයද ඇතුළුව බහුතර ඡන්දයෙනි. අධිකරණයට විධායකයේ බලපෑම අහෝසි කිරීමේ මුල් පියවර එයයි. එයින් පෙනෙන්නේ තමන්ද දායක වූ යහපත් කටයුත්තකට දැන් ඔවුන් විරුද්ධ වන බවය. මෙය වලිගය පාගා ගැනීමකි.

ජනවාරි 08 දේශපාලන පෙරළියේ ප්‍රධාන ජනතා අපේක්ෂාවක් වූයේ දූෂිතයන්ට දඬුවම් දීමය. ඒ විශ්වාසය පළුදු වෙමින් තිබුණි. මේ නිසා ප්‍රබුද්ධ ජන තීරු රජය ගැන කිසියම් කලකිරීමකින් පසු විය.

අධිකරණ සංවිධාන සංශෝධිත පනත ඒ කලකිරීම සහ අවිශ්වාසය දුරු කිරීමට බලපානු ඇත. එය එසේ වනුයේ පනත අනුව අධිකරණයේ ඉදිරි කටයුතු බලපෑම් හා කකුලෙන් ඇදීමෙන් තොර ව නිදහසේ ක්‍රියාත්මක වීමෙන් පමණි.

මාතෘකා