පොහොර සහනාධාරය පලදැරීමට නම්

පොහොර සහනාධාරය පලදැරීමට නම්

ගොවීන්ට පොහොර ලබා ගැනීම සඳහා මුදල් ලබා දීම වෙනුවට පෙර පරිදිම පොහොර සහනාධාරය ලබා දීමේ වැඩ පිළිවෙළ රජය විසින් ආරම්භ කර තිබේ. තම අවශ්‍යතාව අනුව මුදල් වැයකර පොහොර ලබා ගැනීමට ලබා දුන් අවස්ථාව අසාර්ථක වීමට හේතු කීපයක් බලපෑවේය. ඉන් පළමුවැන්න සුබසාධන ආර්ථිකයට හුරුවී සිටි ජනතාවට ද්‍රව්‍යාධාර වෙනුවට මුදල් ලැබීම මදි පුංචිකමක් ලෙස දැනීමය. දෙවැන්න පොහොර වෙළෙඳ පොළේ පැවති කෘත්‍රිම ගැටලුය. තෙවැන්න පිටුපසින් සිට කකුලෙන් අදින්නන්ගේ ක‍ටයුතුය. මේ සියල්ලෙහි ප්‍රතිඵලය ජන විරෝධයක් නිර්මාණය වීමය. එය පළාත් පාලන ඡන්ද ප්‍රතිපල කෙරෙහි ද බලපෑවේය. ජනපතිගේ ප්‍රධානත්වයෙන් පෙබ.22 රැස්වූ ජාතික ආර්ථික සභාව පොහොර ප්‍රශ්නය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළේය. 
ඒ අනුව පොහොර හිඟය වැලැක්වීම,අධිභාවිතයෙන් වැලකීම, රජය පොහොර සංචිත පවත්වා ගෙන යෑම යනාදී කරුණු රැසක් සම්බන්ධයෙන් තීන්දු ගන්නා ලදි.   
ග්ලයිෆොසෙට් පොහොර තේ සහ රබර් සඳහා ලබා දීමට තීන්දු කිරීමද විශේෂත්වයකි. වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා කලක් තිස්සේම එකී අවශ්‍යතාව වෙනුවෙන් හඬ නැඟීය.
පොහොර සහනාධාරය පූර්ණ වශයෙන් ක්‍රියාත්මක කිරීම සඳහා මේ වසරෙහිදී රජයට රු .මිලියන 23500ක් වැය කිරීමට සිදු වනු ඇත. මේ වනාහී විශාල ආයෝජනයකි. කෘෂි රසායන භාවිතයේදී 18 ලක්ෂයක් වන මෙරට ගොවි ජනතාව හුරුවී සිටියේ අධියෙදවුම් රටාවකටය. මෙය කෘෂි රසායන දේශීය වශයෙන් අලෙවි කරන්නන්ගේ ද නිෂ්පාදන සමාගම්වලද ප්‍රචාරණ යන්ත්‍රනයේ ප්‍රතිඵලයකි.පෙර තිබූ කෘෂි ව්‍යාප්ති නිලධාරියාගේ භූමිකාව වත්මනෙහි කිසිදු කෘෂි නිලධාරියකුගෙන් ඉටු නොවේ. ගොවි නියාමක නමට පමණි. මේ නිසා ගොවියා කෘෂි රසායන පිළිබඳ උපදෙස් ගන්නේ පොහොර කඩේ මුදලාලිගෙනි. මෙහි ප්‍රතිඵලය වී ඇත්තේ ලොව කෘෂි රසායන අධිභාවිතය ඇති රටවල් අතර ලංකාව ප්‍රමුඛ තැනකට පත් වීමය. මෙය ඉතා නරක තත්ත්වයකි. මෙය නියාමනය කළ යුතුය. 
කෘෂි ව්‍යාප්ති සේවය ක්‍රියාත්මක වූ සමයෙහි කෘෂි රසායන යෙදවූයේ නොයොදා බැරිම තැන ය. ප්‍රාථමික පිළියම්වලින් පසුවය. දැන් ගොවිතැන පටන් ගන්නේම කෘෂි රසායනවලින් පොළොව තෙත් කිරීමෙනි. ඒ නිසා කෘෂි ව්‍යාප්ති සේවය නැවත ආරම්භ කිරීම කෙරෙහි රජය අවධානය යොමු කළ යුතුය. එමෙන්ම යහපත් අරමුණකින් ආරම්භ කළ වසවිස නැති ගොවිතැන වැඩසටහන අඩාළ කර ගත යුතු නොවේ. එය ද සමාන්තරව පවත්වා ගෙන යා යුතුය. වෙනස්කම් කළ යුත්තේ ක්‍රමික ව පියවරෙන් පියවරය. මේ පිළිබඳ සමෘද්ධි සහ ගොවි නියාමකයන්ට පුහුණුවක් ලබා දිය යුතුය. ගමේ සම්පත් ඇසුරෙන් කාබනික පොහොර නිෂ්පාදනය කිරීමේ පැරණි ක්‍රමවේද හඳුනාගෙන ව්‍යාප්ත කිරීම කළ හැක්කේ ඔවුන්ටය. යම් අනුපාතයකින් කාබනික පොහාර යෙදීම ක්‍රමයෙන් පසට හුරු කළ හැකිය. පසෙහි ජීව ගුණය එකවර ඇති කළ නොහැකි ය. කෘෂි රසායනවලින් එය මුළුමනින්ම විනාශ වී තිබේ. අනෙක් කරුණ නම් ඒකල වගාව වෙනුවට කුඩා ඉඩම් කැබලිවල මිශ්‍ර වගාව කිරීමේ පැරණි ක්‍රමවල වාසිය ගොවීන්ට අවබෝධ කර දීමය. ඒ ගොවිතැනෙහි ජෛව පාලනය ස්වභාවිකවම සිදු වේ. කෘෂිකර්මය ගොවියාට අසහනයක් නොවන සුවදායී එකක් බවට පත් කළ හැක්කේ දිගු කාලීන වැඩසටහනකිනි. පොහොර සහනාධාරය ඒ සඳහා ප්‍රවේශයක් කර ගනිමු.

මාතෘකා