සමෘද්ධි අරමුදල් නියාමනය

සමෘද්ධි අරමුදල් නියාමනය

අගමැති වරයා මැයි දින කතාවේදී සමෘද්ධි අරමුදල් සම්බන්ධයෙන් වැදගත් යෝජනාවක් කළේය. එනම් දේශපාලන පලිගැනීම් මත සමෘද්ධි සහන අහිමි කර ඇති අයට ඒවා නැවත ලබා දීම හා සමෘද්ධි අරමුදල මුදල් අමාත්‍යාංශය යටතට ගැනීමයි. එයින් හැඟෙන්නේ සමෘද්ධි අරමුදලෙහි නිසි නියාමනයක් නොතිබූ බවය.

යහපාලන ආණ්ඩුව සමෘද්ධි අරමුදල බවට නම් කළේ දිවිනැගුම අරමුදලය. 2013 අංක 3 දරන පනතෙන් දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව බවට පත් කළේ සමෘද්ධි අරමුදලයි. මෙය එක්තරා යටිකූට්ටු වැඩකි. දිවිනැගුම පනතට ශ්‍රේෂ්ඨාධිකරණය එරෙහි විය. එහි අරමුදල් ඇමතිවරයාගේ අභිමතය පරිදි පාවිච්චි කළ හැකි විය. අගවිනිසුරුවරිය බොරු චෝදනාවල පටලවා ගෙදර යවන මට්ටමට ඇමතිවරයා කුපිත විය. රෙජීමය ගෙදර යැවීමට බලපෑ ඓතිහාසික පෙරළිය ආරම්භ වූයේද දිවි නැගුම පනතෙනි.

දිවි නැගුමේ මුදල් අවභාවිතය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාට එරෙහිව පැවරූ නඩුව විභාගවෙමින් පවතී.

මෙයින් හැඟෙන්නේ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ හා විශාලතම ක්ෂුද්‍ර මුල්‍ය ආයතනයක් සමග සෙල්ලම් කිරීමට යෑම භයානක බවය. එහෙයින් එම අරමුදල විධිමත් නියාමනයකට යටත් කිරීමට අගමැති වරයා තීන්දු කිරීම යහපත් ප්‍රවේශයකි.

සුබසාධන රාජ්‍යයක් හැටියට දුප්පතුන්ට සහන ලබාදීම ලංකාවේ දැවැන්ත දේශපාලන ව්‍යාපෘතියකි.

පසුගිය ජනාධිපතිවරණයේදී  ඡන්දදායකයන්ට බඩු බෙදීම සඳහා දිවිනැගුමේ මුදල් වංචනිකව භාවිත කිරීමෙන්ම එහි අනුහස පෙනේ. ඉලක්කය ඡන්ද ලක්ෂ ගණනක් ආරක්ෂා කර ගැනීමය.

අතීතයෙහි ක්‍රියාත්මක වූයේ හාල් කූපන් ලබාදීමය. එය ඡන්ද අඩයාළමක් හැටියටද ක්‍රියාත්මක විය.නොමිලේ හාල් ලබාදීමෙන් ඔබ්බට යමක් එහි නොවීය. එහෙත් ආර්. ප්‍රේමදාස මහතා ඇරඹූ ජනසවිය සහ ජනසවි භාරකාර අරමුදල ක්‍රියාත්මක වූයේ නොමිලේ ද්‍රව්‍ය ලබාදීමේ වැසටහනෙන් ඔබ්බට ගිය එකක් හැටියටය. ස්වයං රැකියා සහ සුළු පරිමාන ව්‍යාපෘති ඔස්සේ ස්වාධීනව නැගී සිටීමට ශක්තිය  ලබාදෙමින් සහනාධාර චක්‍රයෙන් ආන්තික පිරිස් මුදවා ගැනීම එහි ඉලක්කය විය. සමෘද්ධි බවට පත් වූයේ ජනසවිය වැඩ සටහනයි.

සුබසාධන ව්‍යාපෘතිය ඡන්ද අඩයාළමක් බවට පත් කිරීම සමෘද්ධියෙන්ද සිදු විය. එක් පළාත් සභා මැතිවරණයකදී හොර ඡන්ද 50 බැගින් දමන ලෙස ඇමතිවරයා සමෘද්ධි නියාමකයන්ට ලිඛිතවම උපදෙස් දුන්නේය. 1999 වයඹ ඡන්දයේදී සමෘද්ධි නියාමකයෝ කෙළින්ම ඡන්ද පොළට කඩා පැන්නාහ.

එබඳු අශෝභන අතීතයක් පසු කර පැමිණි ගමනේදී සමෘද්ධි නිලධාරීන් නිදහස් රාජ්‍ය සේවකයන් බවට පත් කිරීමේ අභියෝගයද ඉතිරිව පවතී.

දේශපාලන පලිගැනීම් සඳහා සමෘද්ධි සහන අහිමි කිරීම අමානුෂිකය. එමෙන්ම පාක්ෂිකයන් සතුටු කිරීම සඳහා එය භාවිතයද අශෝභනය.

සුබ සාධන මානසිකත්වයෙන් අඩු ආදායම්ලාභීන් මුදවා ගත යුතුය. වහලා තම යදම්වලට ආදරය කරන්නාක් සේ රජයෙන් නිකම් දෙන දේ බලා සිටින වහල් චින්තනය රටේ ඉදිරි ගමනට බාධාවකි.

රටේ ජාතික ආදායමෙන් සියයට 54ක් භුක්ති විඳින්නේ සියයට 20ක ජන තීරුවකි. අඩු ආදායම් රේඛාවෙන් පහළ සිටින 20%ක ජන තීරුව භුක්ති විඳින්නේ මුළු ආදායමෙන් සියයට 4කි. මේ විෂමතාව මැකීම සඳහා සමෘද්ධි ව්‍යාපාරයෙන් විපුල දායකත්වයක් දිය හැකිය.

මාතෘකා