අල්ලස(ට) තිතට

අල්ලස(ට) තිතට

මාතර ගගේ ඉන්නා කිඹුලිගෙ පැටියා 
තල්ල සුදුයි බෙල්ලේ ගෝමර කැටියා 
යන එන ඔරු පාරු නවතාගෙන හිටියා 
මිනී නොකයි මාතර කිඹුලිගෙ පැටියා

මාතර ගඟ අසබඩ සිටි එක්තරා පගාකරුවෙකු සිදු කළ කප්පම් ගැනීමත්, ඔහුට මිනිසුන් අල්ලස් දීමත් ගැන ව්‍යංගයෙන් කියවෙන ජන කවිය නොදන්න කෙනෙක් නැති තරම්ය.
මාතර සිටි මුදලි කෙනෙකුගේ පුතෙකු ගඟේ එහා මෙහා ගිය පාරුවලින් කප්පම් හෙවත් අල්ලසක් ගන්නා ලදි. ගමනාන්තය සම්පූර්ණ කිරීමට අවශ්‍ය නම් (යන එන ඔරු පාරු නවතාගෙන හිටියා) අදාළ කප්පම අනිවාර්ය විය. වෙනසකට ඇත්තේ ඌ මිනී නොමැරීම පමණකි. එකල මෙවැනි කප්පම් කරුවන් බහුල නොවුණත්, කාලානුරූපීව 'කප්පම් සහ අල්ලස්' ජීවන වෘත්තියක් බවට පත්කරගත් සමාජයක් නිර්මාණය විය.
රාජ්‍ය අනුහසෙහි නාමයෙන්, වහලුන් පිරිසක් බෙදා පාලනය කළ රජෙකුගේ භූමිකාව, මේ රටේ හැටදෙලක්ෂයක් එක්ව පරාජය කළේ මීට තෙවසරකට පෙරය. වහල් භූමිකාවෙන් පුරවැසි භූමිකාවට මිනිසුන් පරිවර්තනය වූයේ එකී පෙරළියත් සමඟය. 
පසුගිය රජය සමයේ විවිධාකාර වංචා දූෂණ අල්ලස්  අක්‍රමිකතාවල නියැලි  බවට දේශපාලනඥයින්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සංස්ථා හා දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට චෝදනා කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමට මේ වන විට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 2000 ඉක්මවා ඇත.මෙසේ විවිධ දූෂණ, අක්‍රමිකතා හා අල්ලස් සම්බන්ධ චෝදනා ලැබී ඇති හිටපු අමාත්‍යවරුන් අතරින් ඇතැම් පිරිසට එරෙහිව නැගී ඇති චෝදනා රුපියල් කෝටි 2000 ද ඉක්මවන සිද්ධීන් හා සම්බන්ධ ගනුදෙනුය. 2016 වසරේ දී පැමිණිලි 3450ක්, 2015 වසරේ දී 3964ක්, 2014 වසරේ දී 2345ක් වශයෙන් පැමිණිලි ලැබී ඇත.
මහදවල් 'හොරකම' සමාජගත කළ ඉතිහාසය තෙවසරක කාලයක් නික්ම ගිය සැනින් වෙනස් ෙන්නේ නැත. ජනාධිපතිවරයාගේ කාර්යමණ්ඩල ප්‍රධානියා අල්ලස් දැලට කොටු වන්නේ පසුගියදාය. ඒ සැනින් අදාල අංශ සක්‍රීයව මැදිහත් විය. එකී මැදිහත්වීමෙහි ප්‍රතිපලය වූයේ තරාතිරම නොබලා අදාළ නිලධාරියා අත්අඩංගුවට පත්වීමය.
එහෙත්, ඉතිහාසය එතරම්ම අසිරිමත් වීද?
රාජපක්ෂ යුගයේ අල්ලස් කොමිසම සහමුලින්ම විගඩම් සෙල්ලම් මඩුවකි. රාජපක්ෂ රෙජීමයට එරෙහිව එවක සන්ධාන ආණ්ඩුවේ ඇමැතිවරුන් එළිපිට කතා කිරීම ආරම්භ වීමත් සමඟ රාජපක්ෂ ජනාධිපතිවරයා ස්වකීය තර්ජනාංගුලිය දිගුකළේ 'අපි ළඟත් ෆයිල් තියෙනවා' කියමිනි. අල්ලස් හා දූෂණ කොමිසම ආයුධයක් ලෙස භාවිතා  කරමින්, අල්ලස් හා දූෂණ කොමිසමේ සභාපති විශ්‍රාමලත් විනිසුරු ඩී.ජී.බාලපටබැඳි, හිටපු පොලිස්පති ජයන්ත වික්‍රමරත්න ඇතුළු කොමසාරිස් වරුන් තිදෙනෙකු අරලියගහ මැදුරට ගෙන්වා හිටපු ජනපති ඔවුන්ට 'උපදෙස්' දුන්නේ සහමුලින්ම 'නීතිය' කුණු කූඩයට දමාය. 
අල්ලස් හා දූෂණ කොමිසම පිහිටුවා ඇති පණතේ ප්‍රකාරව සිදුකෙරෙන පරීක‍්ෂණ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාටවත් හෙළිකළ නොහැකි වුවත් එවක ඒවා වචන පමණක් විය. එයින් නොනැවතී අදාළ සාකච්ඡාවෙන් පසුව ඉතිහාසයේ පළමු වරට අල්ලස් හා දූෂණ කොමිසමේ සභාපති ඇතුළු කොමසාරිස්ලා මාධ්‍ය සාකච්ඡාවක් ද පැවැත්වූහ.
මේවා විගඩම්ය. එහෙත් ඊනියා 'මහින්ද චින්තනයට' අනුව ඒවා 'හරියටම හරිය.'
කොසොල් රජු විසින් දකින ලද සිහින 16 ක් සම්බන්ධයෙන් බුදුරජාණන් වහන්සේ ඒ සඳහා කරල ලද දේශනාවන් අතරින් 09 වන සිහිනය හා දේශනාව පහත පරිදි වේ.
‘‘සිහිනය: ස්වාමීනී! මා දුටු නව වන සිහිනය නම්, හාත්පසින්ම බෑවුම් සහිත පස් පියුම් විලක් ඇත. දෙපසින් සිවුවා සතුන් දිය බීමට පැමිණෙත්, එහි මැද ප්‍රදේශයේ මඩ සහිතය. එහි නොයෙක් සතුන් දිය බීමට ද පැමිණ ඇත. මෙම සිහිනයේ ප්‍රතිඵලය කුමක් ද?
දේශනාව: මහරජතුමනි! ඔබට මෙයින් අනතුරක් නැත. අනාගතයේදී රජවරු අධර්මිෂ්ට වී හිතුමනාපයේ රාජ්‍ය පාලන කරති. අල්ලස් ගෙන ධනවතුන් ආරක්ෂා කරති. උක්දඬු මිරිකන්නා සේ ජනතාවගේ ශ්‍රමය සූරා, ධනය උදුරා ගන්නේය.’’
ආණ්ඩුවට පැවරී තිබෙන්නේ ඒ සිහිනය වෙනස් කිරීමේ වගකීමය.

මාතෘකා