සොරු ගෙන ගිය හෘදය සාක්ෂිය

සොරු ගෙන ගිය හෘදය සාක්ෂිය

මෙරට කලාත්මක සිනමාවේ පුරෝගාමියා වන ලෙස්ටර් ජේම්ස් පීරිස්ගේ අභාවය රසික ජනයාගේ ඉමහත් සංවේගයට කරුණක් විය. මෙවැනි කලාකරුවකුගේ වියෝවෙන් පසුව සාමාන්‍යයෙන් සිදුවන්නේ ජීවත්ව සිටියදී ඔහු හෝ ඇය කළ නිර්මාණ පිළිබඳ අලුත් උනන්දුවක් රසිකයන්ට ඇති වීම ය. ගුණදාස කපුගේ සහ ඩබ්ලිව්.ඩී. අමරදේවගේ අභාවයෙන් පසුව ඔවුන්ගේ ගීතවලට විශාල ඉල්ලුමක් ඇති වූ අයුරු අපි දුටුවෙමු. 

ලෙස්ටර්ට හිමි ව තිබූ සම්මානයක් පිළිබඳ ඔහුගේ අභාවයෙන් පසුව කතා කරන්නට සිදුව තිබේ. ඊට හේතුව ඔහුගේ අවමංගල්‍ය උළෙල පැවැති දින නිවසෙහි තිබු වටිනාම සම්මානයක් හොරු ගෙන යෑමය. 1965 වසරේ නවදිල්ලි සිනමා උළෙලේ දී ගම්පෙරළිය චිත්‍රපටිය වෙනුවෙන් ලද "රණ මයුර" සම්මානය මෙසේ සොරකම් කොට ඇත. ලෙස්ටර්ගේ බිරියට හා ඥාතීන්ට දැන් සිදු ව ඇත්තේ සම්මානය සොයා ගැනීම සඳහා නීතියේ පිළිසරණ පතන්නට ය. 

මෙය රටක් හැටියට අප සැවොම ලැජ්ජාවට පත් විය යුතු කරුණකි. උත්සව අවස්ථාවකට පැමිණෙන ඇතැමුන් මිදුල කොනේ ඇති මල් පඳුරක් බැරි නම් පිහියක් හෝ හැන්දක්වත් රැගෙන යන්නට උත්සාහ දැරීම ජාතික ලක්ෂණයක් වී ඇති දැයි සැක සිතේ. උත්සවයක් අවසානයෙහිදී නිවසෙහි බඩු කොපමණ අඩුවී ඇතිදැයි දැනගෙන සුසුම් හෙළීමට ගෙහිමියාට සිදු වේ. මෙය අශෝභන ලක්ෂණයකි: ජාතික චරිතය කියවා ගැනීමේ පැති කඩකි. හැන්දක්, පිහියක්, මල් පැළයක් නැතිවු විට අලුතින් මිලදී ගැනීමෙන් ඒ අඩුව සපුරා ගත හැකිය. එහෙත් විශේෂ ඇගැයීමක් වෙනුවෙන් එක් වරක් පමණක් හිමිවන සම්මානයක් නැවත ඒ අයුරින් ම ලබා ගැනීමේ හැකියාව මොන ජගතකුටවත් නොමැත.

ලෙස්ටර්ගේ නිවස මීට කලින් ද හොරුන් බින්ද බවට ඉතිහාසගතය. ධනය, බලය සහ මහන්තත්තකම නොතිබු මේ කලාකාර පවුල සරල අපිස් දිවියක් ගත කළ බව හොරු නොදැන සිටියහ. විසල් ගෙයක් සේ පෙනුණ ද ඔවුන් දිවි ගෙවූයේ කුලී නිවසකය. ඔවුන්ට මුරකරුවන් සිටියේ නැත. ලෙස්ටර්ට තම චිත්‍රපටවලින් ලොකු ධනයක් ලැබුණේද නැත. ඇතැම් ජීවන ගැටලු විසඳා ගත්තේ "ගඟ අද්දර" චිත්‍රපටයෙන් ලද ආදායමෙනැයි වරක් සුමිත්‍රා පීරිස් ප්‍රකාශ කළාය. ඒ අනුව ලෙස්ටර් කර ඇත්තේ විශාල කැපකිරීමකි.   

සමාජ අනාරක්ෂිත බව ලෙස්ටර් වැනි දෙස් විදෙස් පතල කලාකරුවකුගේ නිවස එලිපත්තටම පැමිණීම සරලව බාරගත යුත්තක් නොවේ. එමෙන්ම මහ දවාලේ ජාතික ධනය කොල්ලකා බුද්ධාගමේ ආරක්ෂකයන් ලෙස පෙනී සිටින දෙබිඩ්ඩන් ජනතා ප්‍රසාදයට ලක්ව තිබෙන රටක ලෙස්ටර්ගේ සම්මානය සොරකම් කිරීම ජාතික ප්‍රශ්නයක් බවට පත් වීමේ ඉඩක්ද නැත.

ලෙස්ටර්ට හිමි සම්මානයක් ඔහුට නොදී සිටීමේ ප්‍රභූ කුමත්‍රනයක්ද මීට පෙර ක්‍රියාත්මක විය. එහෙත් දුක සැප සමසිතින් බාරගත් මහත්මා ගුණ ඇත්තකු හැටියට ලෙස්ටර් කිසිවකු සමඟ රණ්ඩු අල්ලන්නට ගියේද නැත. ඒ ලෙස්ටර්ගේ හැටිය. තමා නිසා සිනමාවේ මහ පුටුවක් අසවලාට ලැබුණා යැයි ඔහු උදම් ඇනුවේද නැත.   

ලෙස්ටර්ගේ සම්මාන හොරකම හොරපොල් කඩන්නකුගෙන් සිදුවූවා යැයි සිතීම ද අසීරුය. කලාකරුවකුගේ අවමංගල උළෙල යනු රසිකයන් හා කලාකරුවන් ගැවසෙන තැනකි. කෙසේ නමුත් ඒ පිළිබඳ සොයා බැලීම නීතිය කරවන අයට බාරය. සොරකමට නැඹුරුවක් තිබෙන රටක සම්මාන හොරකමත්, හොරකමක් දැයි කිසිවකු විමසන්නට ඉඩ තිබේ. ජාත්‍යාලයේ නාමයෙන් ඉතිහාසය පුරා අවස්ථා ගණනාවකදී දේපල කොල්ලකෑම් පිළිබඳ අත්දැකීම් අපට ඇත. ඇතැම් හොර බඩු තවමත් නිවාසවල පාවිච්චියට ගන්නවා විය හැකිය.

මුළු රටේම ජීවත්වන්නේ හොරුන් යැයි අපි නොකියමු. එහෙත් හොරකම ඉවසන සමාජයක් නිර්මාණය වෙමින් පැවතීම අනාගත අනතුරකි. 

ලෙස්ටර්ගේ සම්මානයට සිදුවූ දේ සොයා බැලීමේ වගකීමෙන් රට වැසියාට නිදහස් විය නොහැකිය. නැතිවූණ හෘද සාක්ෂිය සොයා ගැනීම එහි පළමු පියවරයි.   

මාතෘකා