ජනමාධ්‍ය නිදහස අර්ථ සම්පන්න කිරීම

ජනමාධ්‍ය නිදහස අර්ථ සම්පන්න කිරීම

ජනමාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ අතුරුදන් කර අදට වසර අටකුත් දින සීයක් ගතවී ඇත. ලෝක ජනමාධ්‍ය දින 25 වැනි සැමරුම ඊයේ (3) 
පැවැත්විණ. ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීම සම්බන්ධයෙන් බරපතළ ගැටලුවක් පවතින බව මෙරට මෙන්ම නොරට අත්දැකීම් අනුව ද පෙනේ. 2015 ජනවාරි 8 
ජයග්‍රහණයට ජවය සැපයූ බලවේගවල එක් අරමුණක් වූයේ ජනමාධ්‍ය නිදහස තහවුරු කිරීමය. රෙජීමයේ පාලන සමයෙහි ඝාතනය කරන ලද හා පහරකෑමට ලක්වූ ජනමාධ්‍යවේදීන්ට නීතියේ සාධාරණත්වය ඉෂ්ට කරන බවට යහපාලන නායකයෝ සපථ කළහ.
 ඒ අනුව ප්‍රගීත් එක්නැළිගොඩ ඝාතන පරීක්ෂණ ආරම්භ කෙරිණ. ඒ පරීක්ෂණ තව ම අවසන් නැත. ඊට බාධා එල්ල වෙමින් පවතී. පරීක්ෂණ ඉක්මන් කිරීම සඳහා හමුදාවෙන් ලැබිය යුතු තොරතුරු තවමත් නිසි පරිදි ලැබී නැත.ඒ අතර චූදිත පාර්ශ්ව සියුම් ලෙස රණවිරු දඩයම පිළිබඳ මිථ්‍යාව සමාජගත කර ඇත. පාලකයන් ඡන්ද පදනම බිඳේය යන බියෙන් මේ සම්බන්ධයෙන් නිහඬ ව සිටින පිළිවෙතක්ද දිස් වේ. එය භයානකය. 
ප්‍රගීත් සහ කීත් නොයාර් ඇතුළු ජනමාධ්‍යවේදීන් පැහැරගෙන යෑම කර ඇත්තේ එකම කණ්ඩායමක් බවට තොරතුරු අනාවර‍ණය වී ඇත. එමෙන්ම ආරක්ෂක අංශවල ඉහළ ම අයකු මේ පැහැරගැනීම්වලට අණ දී 
ඇති බවට තහවුරු වී තිබේ. මෙයින් පෙනී යන්නේ  
අධිකරණ ක්‍රියාවලියෙහි ඊළඟ පියවර තීරණාත්මක වන බවය. ඊට කිසිවකු බාධා කරන්නේ නම් නිදහස සහ සාධාර‍ණත්වය සම්බන්ධයෙන් තිබූ අවසාන බලාපොරොත්තුව ද බිඳ වැටීම නොවැළැක්විය හැක්කකි. දේශපාලන බලය පවත්වා ගෙන යෑම අභියෝගයක් වන අවස්ථාවක ඒ වෙනුවෙන් නීතියේ සාධාරණත්වය 
බිල්ලට දීම යුක්තිගරුක ජනයා අනුමත නොකරයි.
පසුගිය පාලන සමයෙහි රූපවාහිනියට මර්වින් සිල්වා ඇමතිවරයා කඩාවැදීමෙන් ඇතිවූ ගැටුම කෙළවර වූයේ එහි වෘත්තිකයන් කිහිප දෙනෙකු දැලිපිහි ප්‍රහාරවලට ලක්වීමෙනි. එහි සහකාර අධ්‍යක්ෂවරයකු වූ අනුරසිරි හෙට්ටිගේ මහතාගේ ගෙලට එල්ල වූ දැලි පිහි ප්‍රහාරයෙන් ඔහුගේ දිවි බේරුණේ යන්තමිනි. වත්මන් ආණ්ඩුව මේවා ගැන විමර්ශනය කිරීමේ කමිටුවක් පත් කළේය.
 ඉබි ගමනේ යන කමිටුව ක්‍රියාත්මක වන්නේ පීඩාවට පත්වූ මාධ්‍යවේදීන්ට වන්දි ලබාදීමේ තීන්දුව වෙනුවෙනි. එහෙත් මාධ්‍යවේදීන් සහ යුක්තිගරුක ජනතාව අපේක්ෂා කරනුයේ අපරාධකරුවන්ට නීතියෙන් ද‍ඬුවම් ලබා දීමය. එසේ නොකළහොත් සිදුවනුයේ අපරාධ කරුවන්ට තටු ලැබීමය. මර්දන යන්ත්‍රය අවශ්‍ය මොහොතේදී යළි ක්‍රියාත්මක වීමය. 
තොරතුරු දැනගැනීමේ පනත ක්‍රියාත්මක කිරීම යහපාලන ආණ්ඩුවේ යහපත් තීන්දුවකි. එය ජනමාධ්‍යවේදීන්ටද වැදගත් වෙයි. ජනමාධ්‍ය මර්දනයට අත නොගැසීමද සතුටු විය යුත්තකි. ආණ්ඩුවේ ඇතැම් පිළිවෙත් මාධ්‍යයේ විවේචනයට ලක්වේ. ඇතැම් විවේචන අන්තවාදීය. ඒවාට තාර්කිකව පිළිතුරු දීමේ හැකියාවක් පාලකයන්ට තිබිය යුතුය. ජනමාධ්‍ය පිළිබඳව ද්වේශ සහගතව කතා කිරීමෙන් යහප්‍රතිඵල අත් නොවේ. 
ජනවාරි 8 ජනතා ප්‍රතිඥාව පරිදි මාධ්‍ය නිදහස තහවුරු කිරීමේ මුල් පියවර මර්දකයන්ට දඬුවම් දීම ය. එය ප්‍රමාද වීමට සමාන්තරව මාධ්‍ය මර්දනය කිරීමට ඇති හැකියාවද 
එක්ව ගමන් කරයි.

මාතෘකා