ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම

ජනමාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවීම

පසුගිය ඉරිදා සති අන්ත ජාතික පුවත්පතක මුල් පිටුවේ පළ වූ ප්‍රධාන පුවතක සඳහන් වූයේ ගෙවුණු මාස දෙකට බිලියන දහසක මුදල් රජය අච්චු ගසා ඇති බවය. එය බැලූ බැල්මටම විකිණිය හැකි, ආකර්ෂණීය ප්‍රවෘත්තියකි. බිලියන දහසක් යනු රුපියල් ට්‍රිලියනයකි. ඉලක්කම්වලින් කියතොත් එකයි බින්දු දොළහකි. ඉලක්කම් ගණන වැඩිවීම නිසාදෝ මේ ප්‍රවෘත්තියට සමාජ ජාලා මාධ්‍යයන්හිද විශාල ඉල්ලුමක් නිර්මාණය විය. නමුත් මෙය සැබෑවක් ද? විවේක බුද්ධියෙන් යුතුව අප විමසා බැලිය යුත්තේ මෙය කෙතරම් සත්‍ය ප්‍රවෘත්තියක්ද යන්නය. 

නිදහසින් පසු 1951 සිට 2017 දෙසැම්බර් දක්වා මහ බැංකුව විසින් මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණ පිළිබඳ විස්තරයක් 2017 මහ බැංකු වාර්තාවේ 237 වැනි පිටුවේ 07 (4) වගුවේ දැක්වේ. ඒ අනුව එදා මෙදා තුර මේ දක්වා මුද්‍රණය කර ඇති මුදල් ප්‍රමාණයේ වටිනාකම රුපියල් බිලියන නවසිය තිස් නවයයි දශම අටකි.  

2018 අප්‍රේල් මාසය දක්වා පුරෝකතනය කළ ද මේ අගය රුපියල් ට්‍රිලියනයක සීමාවේ පවතී. එසේ පසුගිය වසර හැත්තෑවේ ම මුද්‍රණය කර ඇති මුදලට සමාන මුදලක් මාස දෙකක් ඇතුළත අච්චු ගසා ඇත්නම් ඒ රට සැබැවින් ම ආර්ථික වශයෙන් නන්නත්තාර වූ රෝගී, පණ අදින ආර්ථිකයක් සහිත රටක් විය යුතුය. මෑත කාලීන උදාහරණ තුළ එබඳු රටක් අපට හමුවනුයේ සිම්බාබ්වේදීය. සිම්බාබ්වේ දේශය වැටුණු ආර්ථික අගාධයේ තරම කෙතරම්ද කියතොත් වරෙක පාන්ගෙඩියක් මිලදී ගැනීමට කරත්තයක් පුරවා මුදල් ගෙන යා යුතු විය.   

සාමාන්‍යයෙන්, උත්සව සමයේදී මහ බැංකුව සෑම වසරකදීම අතිරේක මුදල් සංචිත වාණිජ බැංකු වෙත යොමු කිරීම සම්ප්‍රදායක් ලෙස සිදුකරනු ලබයි. ඒ එම කාලයේදී මිනිසුන්ගේ පරිභෝජන අවශ්‍යතා ඉහළ යෑම ස්වාභාවික බැවිනි. එවිට මුදල් සංසරණය වැඩි වේ. කෙසේ වෙතත් උත්සව සමය වෙනුවෙන් නිකුත් කළ එ් අතිරේක මුදල් මහ බැංකුවටම වාණිජ බැංකු හරහා නැවත ගලා එයි. එබඳු සන්දර්භයක මාස දෙකකට බිලියන දහසක මුදලක් අච්චු ගසා ඇති බව ප්‍රසිද්ධ කරමින් ඒවා තමන්ට හිතවත් පුද්ගලයන් ලවා සමාජ ජාල මාධ්‍ය හා රූපවාහිනී පත්තර කියවන වැඩසටහන්වල ඉහළ වැදගත්කමක් සහිතව ප්‍රචාරය කර ගනිමින්, මේ කරමින් සිටිනුයේ රට විශාල ආර්ථික අගාධයකට පසුවන බවත්, මේ රජයට ආර්ථිකය හැසිරවිය නොහැකි බවත් යන පණිවිඩය සන්නවේදනය කිරීමේ දේශපාලන සූදුව ය. 

යහපාලන රජයේ ආර්ථික කළමනාකරණය එහි අපේක්ෂිත මට්ටම හා කිසිසේත් ම සමපාත නොවන බව තර්ක විරහිතය. එදා යහපාලන වෙනස ඇතිකිරීමේදී රාජපක්ෂ සමයට වඩා ආර්ථික පෙරමුණ තුළ දැනෙන යමක් 'යහපාලකයන්' කරනු ඇතැයි විශ්වාසයක් රටේ සාතිශය බහුතරයක් ජනතාව තුළ විය. 

ඒ ජනතා අපේක්ෂාවට ඉටු කළ සාධාරණය පිළිබඳ ගැටලු ඇතිමුත් ඇතැමුන් සමාජගත කිරීමට උත්සාහ දරන අන්දමේ ආර්ථික අගාධයක රට නොපවතින බව ඕනෑ ම අයකු පිළිගන්නා කාරණයකි. සැබැවින් ම මෙවැනි බොරු ප්‍රචාර මාධ්‍යයන්හි පළ වීම පිළිබඳ මාධ්‍යවේදීන් ලෙස අප කණගාටුවට, ලජ්ජාවට පත්විය යුතුය. 

මාධ්‍යවේදීන්ගෙන් ඉහළ සමාජ වගකීමක් පිටස්තර සමාජය අපේක්ෂා කරනු ලැබුවත්, අද ඒ වෙනුවෙන් මාධ්‍යවේදීන්ගෙන් කිසිදු දායකත්වයක් හිමි නොවීම අතිශයින්ම කණගාටුදායකය. පටු, පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍ර පදනම් කරගනිමින් සිය මාධ්‍ය භාවිතයේ නිරත වන පුද්ගලයන්ට රට හෝ එහි අනාගතය වැදගත් නැත. ඔවුන්ගේ දිග පළල සීමා වී ඇත්තේ තම පෞද්ගලික දේශපාලන න්‍යායපත්‍රයට අවශ්‍ය පරිදිය. අනෙක් අතට පෑනක් අතට ගත් ඕනෑම ගොබ්බයකුට මාධ්‍යවේදියකු විය හැකි පසුබිමක වැස්සට පමණක් පාසල් ගිය පුද්ගලයන් පවා අද මාධ්‍යවේදීයෝ ලෙස සමාජය ඉදිරියේ පෙනී සිටිති. 

සැබැවින් ම මේ මොහොතේ මේ රටේ කිසිදු සුදුසුකමක් අවශ්‍ය ව නැති වෘත්තීන් දෙකක් තිබේ. එකක් දේශපාලනයය. අනෙක ජනමාධ්‍යයය.. එවැනි පසුබිමක මීටත් වඩා කෝලම් අපට අනිවාර්යෙන් ම ඉදිරියේදී අපේක්ෂා කළ හැකිය.

මාතෘකා