සිංහල සිනමාවේ නිධානය අහිමිවීම

සිංහල සිනමාවේ නිධානය අහිමිවීම

ලාංකේය සිනමාවේ ලෙස්ටර් යුගය නිම විය. යුගයක් මිනිසකුගේ නමින් හැඳින්වීමට හැකි වීමම විශේෂත්වයකි. 
ගම්පෙරළිය ලෝක සම්මානයට පාත්‍රවීමෙහි ප්‍රතිඵලයක් වූයේ එතෙක් ලංකාව ගැන නොදැන සිටි ඇතැම් විදේශිකයන් හට ලංකාව හමු වීමය. අවු.99ක් ආයු වැළඳූ ලෙස්ටර් ජේම්ස් පීරිස් මිය යන විට, ලොව ජීවත් වු වයෝවෘද්ධම සිනමාකරුවා විය. ඒ වියපත් බව වයසින් පමණක් නොවේ. සිනමා කලාව ද අතිනි."ඉබේ දෙඩුම" නිහඬ කෙටි චිත්‍රපටයෙන් ඇරඹුණු ඔහුගේ සිනමා දිවිය කෙළවර වූයේ වෘත්තාන්න චිත්‍රපටි 20 ක් නිර්මාණය කිරීමෙනි. 
හෙළ සිනමාවේ විශිෂ්ටතම කෘති නාමාවලියෙහි මුදුන්තලයේ සිට ස්ථාන කිහිපයක්ම ඔහුට හිමිය. අන්තර්ජාතික සිනමාව ඔහුගේ අනන්‍යතාව පිළිගෙන ඇත. දකුණු ඉන්දීය අනුකාරක සිනමාවෙන් මිදී සිනමාවට දේශීය අනන්‍යතාවක් ලබාදීමට මුල් වූ සිනමාකරුවා ඔහුය. චිත්‍රාගාරයට සීමාවී තිබූ සිනමාකරණය එළිමහනට රැගෙන ගියේ ඔහුය.   
විදේශ සම්භවයක් ඇති පිය උරුමයක් ඇතිව 1919 වසරේ දෙහිවලදී උපන් ඔහු නියම ඉංග්‍රීසිකාරයකුගේ ජීවන සිරිතෙන්ද ලාංකිකයකුගේ සුහද හදවතින්ද, දිවිසැරිය පවත්වාගෙන ගියේ ය. 
"ලැස්ටර් ගම නොදනී" යැයි වරක් මාර්ටින් වික්‍රමසිංහ ඔහු ගැන ලිවීය. එය හදිසි නිගමනයකි. ප්‍රථම සැබෑ සිංහල චිත්‍රපටය ලෙස සැලකිය හැකි 'රේඛාව' චිත්‍රපටයෙන් ඔහු කළේ ගැමි දිවියෙහි මුල් බැසගත් මිථ්‍යාමත එ් සමාජයෙහි ඉදිරිගමනට සතුරු වී ඇති අයුරු අව්‍යාජව රූපණය කිරීමය. මේ වනාහී අභියෝගාත්මක ප්‍රවේශයකි. වික්‍රමසිංහයන්ට මෙය නොපෙනුණේ ය. 
ජාතිය,ආගම,මිථ්‍යාව ඔහුගේ චින්තනයට බලපෑම් නොකළේ ය. ලෙස්ටර් විවෘත මනසක් තිබූ ප්‍රබුද්ධ රසිකයෙකි. 'පුරහඳ කළුවර' රාජ්‍ය දඩයමට ලක් වූ මො⁣හොතෙහි ඔහු තරුණ සිනමාකරුවන්ගේ පැත්ත ගනිමින් කලාවේ අයිතිය වෙනුවෙන් පෙනී සිටියේ ය. 
"සිනමාවේ අනාගතය ප්‍රසන්න, හඳගම සහ ජයන්ත" යැයි ඔහු වරක් ප්‍රකාශ කළේ ගුරුමුෂ්ටි නොමැති අව්‍යාජ කලාකරුවකු ලෙසය. එබඳු කලාකරුවෝ විරළ වෙත්. 
"මම තව චිත්‍රපටයක් හැදුවොත් මං මැරෙයි" මීට වසර කිහිපයකට පෙර ඔහු ප්‍රකාශ කළේය. චිත්‍රපටයක් නිර්මාණය කිරීම ඇරඹූ පසු අවසානය දක්වා ඔහු කරන කැපවීම පිළිබඳ සාක්ෂිය එයයි. 
ඔහුගේ සිනමා රීතිය අපරදිග සිනමාවෙන් විශිෂ්ටාදර්ශ ලැබීය. ඒ අතරින් ඉංග්මාන් බර්ග්්මාන් කැපී පෙනෙයි. එහෙත් ඔහු කිසිවකුගේ අනුකාරකයකු නොවීය. ඔහු තමාටම අනන්‍ය වු සිනමා රීතියක් ගොඩ නැගීය. එ් කෘති සාහිත්‍ය කෘති මූලාශ්‍රය කර ගැනීමද විශේෂත්වයකි. එමෙන්ම චිත්‍රපටයෙහි භාව කම්පනයට වැඩි බරක් නොතබන ඔහු බුද්ධිමය අවකාශය පුළුල් කරයි. ඒ ඔහුගේ රීතියයි. 
ලෙස්ටර්ගේ සිනමාව පිළිබඳ අධ්‍යයනය මෙරට විශ්වවිද්‍යාලවල අධ්‍යයන ශාඛාවක් විය යුතුය; ඔහුගේ චිත්‍රපට සංරක්ෂණය කළ යුතුය; මතු පරපුර අතට පත් කළ යුතුය.
එහෙත් ඒ කිසිවක් පිළිබඳ ලොකු බලාපොරොත්තු තබාගත හැකි ද යන ගැටලුව ඇතිවේ. මෙරට බිහිවූ සිනමා කෘතිවලින් විශාල ප්‍රමාණයක් මේ වන විට නිසි සංරක්ෂණයක් නැතිව විනාශයට ගොස් අවසන්ය. 
ලෙස්ටර්ට කළ හැකි ලොකු ම ගෞරවය නවක සිනමාකරුවන්ට ඇති බාධා ඉවත් කරමින් සිනමාවේ සහ කලාවේ ප්‍රගමනය වෙනුවෙන් නව ප්‍රතිපත්තියක් සකස් කර ක්‍රියාවට නැංවීම ය. 

මාතෘකා