සාමාන්‍ය පෙළ කඩඉම් තරණය

සාමාන්‍ය පෙළ කඩඉම් තරණය

අපොස සා.පෙළ ප්‍රතිපල නිකුත් විය. විශිෂ්ටතම සාමාර්ථ ලැබුවෝ කාගේත් අවධානය දිනාගනිති. අසමත් වූවෝ දුක්වෙති. ගැරහුම් ද ලබති.

මෙවර කැපී පෙනෙන සිදුවීමක් වන්නේ විභාග අක්‍රමිකතා සිදු කිරීමේ වරදට සිසුන් රැසකගේ ප්‍රතිපල අත්හිටුවීමය.

වත්මනෙහි පැවැත්වෙන්නේ විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයකි. මෙය අතීතයෙහි නොපැවතුණු තත්වයකි. මේ නිසා ප්‍රාථමික පන්තිවල සිටම දරුවන්ට සිදුවන්නේ විභාග තරගයකට මුහුණ දීමටය. මෙය සිසුන්ගේ මනසට ඉමහත් වධයකි. මේ නිසා සෙස්සන් අභිබවා ඉහළ ලකුණු මට්ටමකට යෑමේ අපේක්ෂාවකින් කටයුතු කිරීමට ඔවුහු පෙළඹෙති.

විභාග අක්‍රමිකතාවලට චෝදනා ලැබූ සිසුන්ගේ පසුබිම අධ්‍යයනය කළ හොත් වැඩි ලකුණු අපේක්ෂාවෙන් වරදට පෙළඹුණු දක්ෂයන්ද හමුවනු නිසැකය.
වි

භාග තරගය ආරම්භ වන්නේ ශිෂ්‍යත්ව විභාගයෙනි. ඉන් පසු සා.පෙළ., උසස් පෙළ හා උපාධි විභාග දක්වාම තරගය දිගු වේ.

මේ තත්වයෙන් උපකාරක පන්ති පවත්වාගෙන යන්නෝ වාසි ගනිති.

හැම විෂයයකටම පුද්ගලික පන්තිවලට යවා දරුවන්ගෙන් ඉහළම ප්‍රතිපල මිරිකා ඉගැනීමට දෙමව්පියෝ වෙර දරති. ගුරුවරුද ඊට අනුබල දෙති. මේ නිසා ක්‍රමයෙන් පාසල් අධ්‍යාපනය පිරිහෙමින් ටියුෂන් අධ්‍යාපනය පුළුල් වනු පෙනේ. මේ වනාහී ලොව කිසිම රටක දක්නට නොලැබෙන අන්දමේ දැවැන්ත විකෘතියකි.

මෙහි ප්‍රතිපලය වන්නේ සිසුන්ට ළමා ලෝකය අහිමි වීමය. ඔවුන‍ට ක්‍රීඩාව අහිමිය. නිදහස හා සෞන්දර්ය ක්‍රියාකාරකම් ඔවුන්ගෙන් උදුරාගෙන තිබේ. මේ නිසා දරුවන් අතර ආතතිය, විෂාදය යනාදී අවපතන ලක්ෂණද දියවැඩියාව යනාදී රෝගද ව්‍යාප්ත වෙමින් පවතී.

පවතින අධ්‍යාපන ක්‍රමය සැකසී ඇත්තේ තරගයෙන් දිනන්නන් සංතෘප්ත කිරීම වෙනුවෙනි. එයින් පරදින්නෝ ජීවන මං තලයෙහි අතරමං වෙති. ඔවුන්ට පිහිටට ඇත්තේ ත්‍රීරෝද රිය, පුද්ගලික ආරක්ෂක සේවය යනාදී සීමා සහිත උපකාරකයන් පමණි. මෙය අවාසනාවන්ත තත්වයකි.

දක්ෂයන් හා අදක්ෂයන් ලෙස වර්ග කරමින් එක් පිරිසක් ජීවන මං තලාවේ අතරමං කිරීමේ ක්‍රමය වෙනස් විය යුතුය. විභාග කේන්ද්‍රිය අධ්‍යාපනය වෙනුවට දැනුම, කුසලතා හා ආකල්ප වර්ධනය කිරීම ඉලක්ක කරගත් අධ්‍යාපනය පාසැලට කැඳවිය යුතුය.

නිදහස් අධ්‍යාපන පනත ක්‍රියාත්මක වීම ආරම්භ වූයේ එම අරමුණ ඇතිවය. පසුව ක්‍රමයෙන් එය වෙනස් විය.

72 අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට ඇතුළත්ව තිබු ප්‍රාග් වෘත්තිය විෂය පොතේ දැනුමට අමතරව විවිධ වෘත්තීය ක්ෂේත්‍රවල අවබෝධය හා පුහුණුව ඉලක්ක කර ගත්තේය. එයද අසාර්ථක විය.

වත්මන් ආණ්ඩුව නවීන අවශ්‍යතාවලට ගැලපෙන අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් පිළිබඳ අවධානය යොමු කර සිටී. එහිදී අපොස. සා.පෙළ අසමත් සිසුන් අධ්‍යාපනයෙන් එළියට නොදා ඔවුන්ට තම කුසලතා පරිදි වෘත්තිය පුහුණුවලට අවස්ථාව ලබා දීම කෙරෙහි අවධානය යොමු කර තිබේ. විශේෂයෙන්ම පින්ලන්තය වැනි රටවලින් පූර්වාදර්ශ ලැබෙන බව අධ්‍යාපන ඇමතිවරයා එරට කළ සංචාරයකින් පසුව පැවසීය.

මෙය ඉතා හොඳ ප්‍රවේශයකි. පින්ලන්තයේ දරුවන්ට කුඩා කල පටන් විෂය බර ඔලුවට දැමීමේ ප්‍රතිපත්තියක් නැත. ඔවුන්ට ඇත්තේ පරිසරය  ආශ්‍රිත විවිධ ප්‍රායෝගික අත්දැකීම් ලැබීමය. ගුරුවරයා මැදිහත්වන්නේ ඒ කටයුත්තටය.
ආචාර්ය කන්නන්ගරගේ නිදහස් අධ්‍යාපනයේ අරමුණු සමග පෑහෙන නවීන අධ්‍යාපනයක් හඳුන්වා දීම අද ඇති වගකීමයි.

එහිදී මානව ශාස්ත්‍ර විෂයයන් බැහැර නොකර වෘත්තියාභිමුඛ අධ්‍යාපනයක් ලබාදීම අධ්‍යාපනයේ අරමුණු සාධනය කර ගැනීමට ඉවහල් වනු නිසැකය.

මාතෘකා