කඩතිර හැර බලන්න

කඩතිර හැර බලන්න

ඊයේ 'රැස' ප්‍රධාන පුවතින් අනාවරණය වූ කාරණය, හද කම්පා කරවන සුළුය. රුපියල් කෝටි
15,000කට වැඩි මුදලක් මත් රකුසා වෙනුවෙන් වැය කරන රටක් බවට ලංකාව පත්ව ඇත. සියලු ආගම්වලින් ශික්ෂණය වූ රටක සංස්කෘතික පසුබිම දෙස බලද්දී මෙය බරපතල ඛේදජනක තත්ත්වයකි. එක් අතකට ලංකාවේ ආර්ථික පසුබිම දෙස බලද්දී මේ මුදල අති දැවැන්ත නාස්තියකි.  
රටේ පවුල් ලක්ෂ ගණනකගේ දුප්පත්කම තුරන් කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක කරන සමෘද්ධි වැඩසටහනට යොදවන මුදල මෙන් පහළොස් ගුණයක මුදලක් මත්පැන් හා මත් ද්‍රව්‍ය සඳහා රටක් සඳහා අප වැය කරනු ලබයි.  මෙරට පාසල් අධ්‍යාපනය ලබන ලක්ෂ 45ක් වන ශිෂ්‍ය ප්‍රජාව වෙනුවෙන් මෑතකදී රජය විසින් ක්‍රියාත්මක කළ සුරක්ෂා රක්ෂණ ක්‍රමය වෙනුවෙන් වෙන් කළ මුදල රුපියල් කෝටි 270කි. රටේ සමස්ත අධ්‍යාපනයේ ප්‍රාග්ධන සහ පුනරාවර්තන වියදම් වෙනුවෙන් වාර්ෂිකව වෙන් කරන මුදලත් කෝටි 15 000කට වඩා බෙහෙවින් අඩුය. ඒ අනුව බලන කලද මෙය දැවැන්ත මූල්‍ය හානියකි.  
රටේ සමස්ත ජනගහනයෙන් ආසන්න වශයෙන් 30%කට වඩා වැඩි ප්‍රමාණයක් දිනක ආදායම ඩොලර් 2කට වඩා අඩු මට්ටමක සිටින සන්දර්භයක මෙය භයානක තත්ත්වයකි. මත් උවදුරෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ තරුණ පරම්පරාවටය. විශේෂයෙන් පිරිමි පක්ෂයටය. රටේ වැඩිහිටි ජනගහණය වැඩි වීමේ අවදානම පවතිද්දී, ඔවුන්ගෙන් ආර්ථිකයට ලැබෙන දායකත්වය අඩු වීමෙන් ඉදිරි ආර්ථික දුෂ්කරතා මතු වීමේ ශක්‍යතාව වැඩි ව ඇති වාතාවරණයක මෙය රටේ අනාගතය පිළිබඳ බිහිසුණු සිහින මැවීමට සමත්ව ඇත.  
මෙරට සංස්කෘතියට වැඩිම බලපෑමක් එල්ල කළ බුදු දහමෙන්  'මදයට සහ ප්‍රමාදයට හේතු වන්නේ සුරා පානය' බව උගන්වයි. මෙහිදී 'මදය' යනුවෙන් හැඳින්වෙන්නේ මානය නොහොත් උඩඟු කමයි. එසේ මානය නොහොත් උඩඟු කමට පත් වූ පුද්ගලයාට හොඳ දෙය නරක දෙය කුමක්‌ද යන්න තෝරා බේරා ගැනීමේ හැකියාවක්‌ නොමැත. මත් පැන්, මත් ද්‍රව්‍ය වෙනුවෙන් සෘජුව අපතේ යන මුදලට වඩා ගණනය කළ නොහැකි දැවැන්ත මුදල් හානියක් මේ උමතු බවෙන් සිදු වේ. වක්‍රව සිදු වන සමාජ බලපෑම ආපසු හැරවිය නොහැකි තරම්ය. සුපැහැදිලිවම මත්පැන් හා මත්ද්‍රව්‍යවලින් වැඩිම බලපෑමක් එල්ල වන්නේ පිරිමින්ටය.
අද රටේ කාන්තා පිරිමි දෙපාර්ශවයටම සම අධ්‍යාපන පහසුකම් ලැබී ඇති වාතාවරණයක, කාන්තාව අධ්‍යාපනය කෙරෙහි වැඩි නැඹුරුතාවක් පෙන්වයි. විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ කාන්තා දායකත්වය 70%ක් ඉක්මවන අතර අධ්‍යාපන ක්ෂේත්‍රයේ 80%ක අගයත් ඉක්මවා දායකත්වය දක්වන්නේ කාන්තාවන්ය. නීති, වෛද්‍ය, පරිපාලන ආදී සෑම ඉසව්වකම කාන්තාව අද ආධිපත්‍යය දරමින් සිටියි.
වසර දහස්‌ ගණනක ශිෂ්ටාචාරයකට උරුමකම් කියන මෙරට මත්ද්‍රව්‍ය භාවිතය අශීලාචාර, ග්‍රාම්‍ය කටයුත්තක්‌ වශයෙන් සලකා ඇති බව ඉතිහාසය පිරික්‌සීමේදී දැක ගත හැකිය. දුටුගැමුණු රජතුමාගේ දස මහා යෝධයන්ගෙන් කෙනකු වන "ගෝඨයිම්බර" සුරාවෙන් මත් වී රජවාසලට ගිය බැවින් රජවාසලට ඇතුල්වීමට ඉඩ නොදුන් බව ඉතිහාසයේ සඳහන් වේ. එසේම සුරාවෙන් මත්ව රජතුමා බැහැ දැකීමට පැමිණි ලන්දේසි සෙ‍ෙනවියකුට, "මේ බල්ලා බැඳ දමව්" යනුවෙන් පවසා පලවාහැරී බව ඉතිහාසයෙහි ප්‍රසිද්ධ කරුණකි. මත්පැන් නොබොන ලාංකිකයා මඩ සෝදා ගත් පසු රජකමට වුවද සුදුසු බව රොබට්‌ නොක්‌ස්‌ පවසා ඇත. එවන් අතීතයකට උරුමකම් කියන අපේ ජනතාව වර්තමානය වන විට ඊට හාත්පසින් වෙනස්‌ ජීවන රටාවක්‌ අනුගමනය කිරීමට පෙළඹී සිටීම කනගාටුවට කරුණකි.  
මත්පැනට යොමුවීමේ වැඩි නැඹුරුවක් ඇති තරුණ පිරිමි දරුවන් අධ්‍යාපනය කෙරෙහි යොමු කරවීමේ ඵලදායි, කාර්යක්ෂම වැඩ පිළිවෙළක් කඩිනමින් ක්‍රියාත්මක නොකළහොත්, රටේ නූගත් දුරාචාර පරපුරක් බිහි වීමට වැඩි සම්භාවිතාවක් පැවතීම ඉතා භයානක තත්ත්වයකි. මේ භයානක තත්ත්වය 'දෑස්' ඇර බැලිය යුතු කාලය උදා වී ඇත.

මාතෘකා