සාපෙ සාපයක් වූ 969

සාපෙ සාපයක් වූ 969

අධ්‍යාපනය යනු පුද්ගලයාගේ දැනුම, කුසලතා, ආකල්ප වර්ධනය කිරීමේ ක්‍රියාවලියකි. බුදුදහමට අනුව අධ්‍යාපනය ‘යාව නිබ්බාන’ ක්‍රියාවලියකි. ‘හිස, හදවත හා අත දියුණු කිරීම ’මහත්මා ගාන්ධි කීවේත්, ‘‘කය සහ ආත්මය සංවර්ධනය කිරීම කියා ප්ලේටෝ කීවේත්, ‘‘පුද්ගලයා තුළින් ම සංවර්ධනය කිරීම’’ කියා රූසෝ කීවේත්, ‘ගැඹුරු දැනුමක් සහ අවබෝධ ශක්ති ඇති පූර්ණ මිනිසකු බිහි කිරීම’’ කියා ආර්. එස්. පීටර්ස් කීවේත්,‘‘පුද්ගලයාගේ සමබර දැනුම, ප්‍රඥාව, බුද්ධිය හා ගුණ ධර්ම වර්ධනය’’ රාධක්‍රිෂ්ණන් කීවේත්, අධ්‍යාපනය ගැනය.
 ඒ අනුව අධ්‍යාපනය යනු පුද්ගල හැකියාව පිටතට මතු කොට ඒ තුළින් පූර්ණ මිනිසකු බිහිකිරීම සහ සමාජ සංවර්ධනය කිරීම පෙරටු කොටගත් වැදගත් සංකල්පයකි.  
විධිමත් අධ්‍යාපන ක්‍රියාවලියේ තීරණාත්මක කඩඉම් විභාගය අ.පො.ස සාමාන්‍ය පෙළ බව අවිවාදිත කරුණකි. 2018 සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නිකුත් වන්නට හෝරා කිහිපයක් තිබියදී මේ සටහන තබන්නේ විභාග දෙපාර්තමේන්තුව පැත්තෙන් අසන්නට ලැබෙන පුවතක් නිසාය.  
ඒ වූ කලී සමාන්‍ය පෙළ සිසුන් 969 කගේ ප්‍රතිඵල අත්හිටුවන බවට විභාග කොමසාරිස් කළ ප්‍රකාශයයි. ඔහු පවසන්නේ විභාගය සම්බන්ධව පැමිණිලි 2804ක් ලැබී තිබුණු බවයි. කරන ලද විමර්ශනවලින් අනතුරුව ඉන් 1829 දෙනකු නිදහස් වී තිබේ. විභාග ශාලාවේදී නීති උල්ලංඝනය කිරීම, උත්තර පත්‍ර පරීක්ෂාවේදී නීති උල්ලංඝනය කිරීම වැනි වැරදිවලට වන්දි ලෙස ඉතිරි 969 'වැඩ වරද්දාගෙන' තිබේ.  
දැන් ඔවුන් එක්කෝ නැවත විභාගය ලිවිය යුතුය. නැත්නම් විකල්ප මඟක් තෝරා ගත යුතුය.  
මේ දරුවන් සියලුදෙනා නව යොවුන් වියේ පසුවන්නෝය. ජීවිත කාලයෙන් අඩක්වත් ගෙවා නැති මොවුහූ 'අත්දැකීම්' අතින් තාමත් සිටින්නේ ප්‍රාථමික අවදියකය. සාමාන්‍යයෙන් සාමාන්‍ය පෙළ ලියන අවදිය වනාහී කරදඬු යන්තම් උස් මහත්ව උගුරු දණ්ඩ මතුව, දැලි රැවුල කොකම් පාන සමයයි. දුරදිග නොබලා තීන්දු තීරණ ගැනීමත්, ඊට අනුව පැවැතීමත් ඒ වයසේ ගති ස්වභාවයය.  
එක්කෝ කඩයිම් විභාගය කෙලෙස හෝ 'ගොඩ දමා' ගැනීම, නො එසේ නම් වඩා ඉහළ ප්‍රතිඵලයක් ලබා ගැනීම වැනි හේතු මත ඔවුන් 'නීති' බිඳින්නට ඇත.  
දැන හෝ නොදැන නීති බිඳීම වරදකි. ඊට නිදහසට කරුණු ඇත. පවත්නා අධ්‍යාපන ක්‍රමයක් මෙරට තිබේ. එය කාලානුරූපීව වෙනස්වී ද නොවී ද යන්න වෙනම කතාවකි. එහෙත් සිසුන් 'රටාව' අවබෝධ කරගත යුතුය.  
උගතෙක් බිහිකිරීම අධ්‍යාපනයේ අරමුණ‍ය කියා කිසිවෙක් පවසන්නේ නැත. සමාජ කාර්යක්‍ෂමතාව වැඩිකිරීමද එහි අරමුණකි. කොමිනියස්ට අනුව “සම්පූර්ණ මානව චර්යාව වර්ධනය කිරීම’’ ද අධ්‍යාපනයේ අරමුණකි. එය ජීවත් වීමේ ක්‍රියාවලියක් මිස අනාගත ජීවිතය සඳහා සූදානම් වීමක් නොවේ. ඒ අනුව අද ජීවත් වීමට අධ්‍යාපනයෙන් ඉගැන්වේ.
ඒ අතර රටක අධ්‍යාපනයේ අරමුණ නම් යහපත් වෘත්තිකයෙක් බිහි කිරීමයි. එහි පරමාර්ථය නම් කාර්යක්‍ෂම, ඵලදායී පුරුෂයකු බිහි කිරීමයි. ඒ අනුව මේ අරමුණු කොටස් දෙකකි. ඒ කෙටිකාලීන අරමුණු සහ දීර්ඝ කාලීන අරමුණු යනුවෙනි.   
ලෝකයේ බොහෝ දියුණු රටවල් අද දියුණු ඒවා බවට පත් වී  තිබෙන්නේ ඔවුන් කාලයකට පෙර මේ සාම්ප්‍රදායික රාමුව බිඳ හෙළා කාර්යශූර, බහුශ්‍රැත හා නිර්මාණශීලී අනාගත පරපුරක් බිහි කරගෙන ඇති නිසාය. ලෝක අධ්‍යාපනය සඳහා වූ පියර්සන් දර්ශකයේ ඉහළම ස්ථානයක තිබෙන ෆින්ලන්තයේ අධ්‍යාපන ක්‍රමය ශ්‍රී ලංකාව වැනි රටකට හොඳම උදාහරණ ගන්නට හැකි එකක් වුවද ඊට තාමත් සූදානම් බවක් පෙනෙන්නට නැත.
එහෙත්, අපේ රටේ දරුවන් පින්ලන්තයේ දරුවන් තරම් පින්කොට නැත. එවැනි තලයකට යෑමට අප වැනි රටකට තව කාලයක් ගත වනු ඇත. අඩුම ගණනේ මේ අනවශ්‍ය විභාග තරඟයෙන් හා අසීරු විභාග ඉලක්කවලින් සිසු පරපුර බේරා ගත යුතුය.  
තරඟයක් හෝ, පීඩාවක් නොවේ නම් අර දරුවන් 969 අවාසනාවන්ත දඬුවමක් ලබන්නේ නැත.  
විභාග ප්‍රතිඵල පැමිණි විගස සිදුවන අවාසනාවන්ත සිදුවීම් මේ විභාග ක්‍රමය ආරම්භ වූදා සිටම අත්විඳින්නට සිදුවන ඛේදාන්තය. සියදිවි නසා ගැනීම්, සියදිවි නසා ගන්නට උත්සාහ කිරීම්, නිවෙසින් පැන යාම් වැනි සිදුවීම් ගැන පුවත් සතියක් දෙකක් යනතුරු වරදින්නේම නැත.  
මේ සියල්ල පවත්නා ක්‍රමයේ අතුරුපසය.  
සාමාන්‍යයෙන් දරුවෙකු පාසැලට බාර දීමේ සිටම තරඟකාරීත්වය ඔහුගේ 'හිසේහි' තැන්පත් කරති. බස් රියට ගොඩවෙන තැන සිටම අනෙකා පරයා යන තරඟයක් ඒ සමඟම එයි. දරුවන් තුළ බිහි කළ යුත්තේ ක්‍රීඩාශීලී තරඟකාරීත්වයක් විනා වියරු වැටුණු තරඟකාරීත්වයක් නොවේ.  
ඉතින්, හෙට දවස තිබෙන්නේ කොතැනද?අර සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අත් හිටවූ 969 ද ඊට එක් වූ විට ඉතින් රටකට සූර්යයා පායාවි ද.....

මාතෘකා