තේවල කීර්තිනාමය රැක ගනිමු

තේවල කීර්තිනාමය රැක ගනිමු

තේ නිෂ්පාදනයේදී සීනි හා ග්ලූකෝස් මිශ්‍ර කරන බවට තොරතුරු වාර්තා වී ඇති බැවින් ඒ පිළිබඳ සොයා බලා වහා අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගන්නා ලෙසත්, ඊට සම්බන්ධ සමාගම් හෙළිදරව් කරන ලෙසත් ඉල්ලමින් කෝප් කමිටුවේ සභාපති සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා විසින් වැවිලි කර්මාන්ත අමාත්‍යවරයාට ලිපියක් යවා තිබේ. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කර ඇති කාරණය ඉතා වැදගත්ය. ඔහු පමණක් නොව තේ මණ්ඩලයේ හිටපු සභාපති රොහාන් පෙතියාගොඩ මහතාද ප්‍රකාශ කර ඇති ආකාරයට රත්නපුර, ගාල්ල හා මාතර ප්‍රදේශවල තේ කර්මාන්තශාලා අසූවක් වැටලීමේදී, ඉන් කර්මාන්ත ශාලා පනස් තුනක සීනි හා ග්ලූකෝස් මිශ්‍ර තේ දලු අඹරන බවට හෙළිව තිබේ.  

සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා අවධාරණය කර ඇති කාරණයේ වැදගත්කම් රැසක් පවතී. තේ යනු ශ්‍රී ලංකාවේ තවත් එක් සාම්ප්‍රදායික අපනයනයක් නොවේ. ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ ඉතිහාසය ශත වර්ෂයකට එහා දිව යන්නෙකි. ශ්‍රී ලංකාව ලෝකයේ හතරවැනි විශාලතම තේ නිෂ්පාදකයා ලෙස සැලකේ. ඊට පෙර තවත් ඉහළින් අප ඒ සම්බන්ධව අංකගත ව තිබිණි. 1995 වසරේදී ලංකාව ලෝකයේ ප්‍රධානතම තේ අපනයනකරු බවට පත් වෙද්දී, අපි ඒ කාලයේ සියයට විසිතුනක් තේ ලෝකයට අපනයනය කළෙමු. දැන් අප පසුකර බොහෝ දුර තේ අපනයනය සම්බන්ධයෙන් අපගේ අනෙකා වූ කෙන්යාව ගමන් කර තිබේ. අවම තරමින් අපට ඉල්ලුමට සරිලන සැපයුමක්වත් ලබා දීමට අද අපට නොහැකි වී ඇත.

ගත වූ කාලයේ මෙරට තේ නිෂ්පාදනය එන්න එන්නම අඩු විය. 2013දී මිලියන කිලෝ ග්‍රෑම් තුන්සිය හතළිහක් නිෂ්පාදනය වුවද 2014දී එය මිලියන කිලෝ ග්‍රෑම් තුන්සිය තිස් අටක් දක්වා අඩු වීමෙන් ඒ බව පෙනී යයි. ඊට විවිධ හේතු බලපාන ලදී. එකී කාරණා අප ගැඹුරින් හා විවේක බුද්ධියෙන් විමසා බැලිය යුතුය.   

ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තය සිය එකසිය පනස්වන සංවත්සරය සැමරුවේ පසුගිය වසරේදීය. ඒ ගෙවුණු ඉතිහාසය තුළ තේ කර්මාන්තය මෙරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ලබාදී ඇති දායකත්වය පමණක් නොව රටක් ලෙස ශ්‍රී ලංකාවේ හොඳ නම ලොව පුරා බැබළවීමට එය කටයුතු කර ඇති ආකාරය ප්‍රශංසනීයය.   

සමාන්තර තරඟකරුවන් වූ කෙන්යාව වැනි රටවල් අබිබවා ශ්‍රී ලංකාවේ තේ ලොව පුරා ප්‍රචලිත වූයේ එහි ඇති ඉහළ ප්‍රමිතිය නිසාය. අදටත් රුසියාව, ඉරාකය, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ලිබියාව, ඇෆ්ගනිස්ථානය වැනි රටවල ප්‍රධාන තේ ගැනුම්කරුවා ලංකාවය. ඔවුහු සෑම වසරකදීම විශාල වශයෙන් ලංකාවෙහි තේ මිලදී ගනිති.

අපගේ සමස්ත විදේශ විනිමය ඉපැයීම්වලින් සියයට පහළොවකට (15%) පමණ වග කියන තේ කර්මාන්තය සමඟ, රටේ ජනගහනයෙන් සියයට විස්සක් (20%) සම්බන්ධ වී සිටී. හඳුන්නෙත්ති මන්ත්‍රීවරයා සඳහන් කර ඇති කාරණය සත්‍යයක් නම් සිදු ව ඇත්තේ බරපතල වරදකි. ඉන් සිදුව ඇත්තේ මෙරටින් විදේශයන්ට අපනයනය කරන තේවල ඇති විශ්වාසය හා කීර්තිය පළුදු වීමය.

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක ද මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වා තිබුණි. ඔහුත් මන්ත්‍රීවරයා මතු කළ කාරණය තහවුරු කර තිබුණි. ලංකාවේ තේ කර්මාන්තයට ඇති සාඩම්බර පිළිගැනීම අහිමි කරන, ඒ තුළින් ලංකාවේ ආර්ථිකය රෝගී බවට පත් කරන, එමෙන්ම තවත් විශාල පිරිසකගේ රැකියා අවදානමේ දමන මේ කාරණය සම්බන්ධයෙන් වහා දැඩි පියවරක් අනුගමනය කිරීම හැමතින්ම වැදගත්ය. එසේම මේ ජාවාරමට සම්බන්ධ සියලු දෙනාටම එරෙහි ව දැඩි නෛතික ක්‍රියාමාර්ග ගැනීමද අවශ්‍ය බව මෙහිදී සිහිපත් කිරීමට කැමැත්තෙමි.

මාතෘකා