ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වීම

ප්‍රජාතන්ත්‍රවාදය විකෘති වීම

මම ප්‍රජාතන්ත්‍රවාදය වෙත දෙවියන් විසින් දෙන ලද ඇට මැස්සෙක් වෙමි. ප්‍රජාතන්ත්‍රවාදය යනු විශාල, උතුම් අශ්වයකු වන අතර ඌ චලනයෙහි අලස නිසා ඌට දෂ්ට කර ජීවිතය වෙත ඇහැරවීම අවශ්‍ය වේ’’ යැයි කියා කියනුයේ සොක්‍රටීස්ය.
ප්‍රජාතන්ත්‍රවාදය වගකීම් විරහිත ලෙස පාවිච්චි කිරීමේ ආදීනව සොක්‍රටීස් කියා නැත. නො එසේනම් එය අයුතු ලෙස පාවිච්චි කරතැයි සොක්‍රටීස් සිතන්නට නැත. එහෙත් අවාසනාවට සොක්‍රටීස් නොසිතුව දේ සිදු වෙමින් තිබේ. ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් ප්‍රජාතන්ත්‍රවාදය 'විකාරයකට' රැගෙන යාම විටින් විට සිදු වෙමින් තිබේ.
ඉකුත් පළාත් පාලන මැතිවරණය ජය සහ පරාජය තීන්දුකොට හමාර විය. මැතිවරණයෙන් පසු ජයග්‍රහණයේ උන්මාදයෙන් මත්ව බන්දුල ගුණවර්ධන මහතා කීවේ මහින්ද රාජපක්ෂ නියෝජනය කරමින් පොල් ලෙල්ලක් මැතිවරණයට ඉදිරිපත් වුව ද ජය ගන්නා බවයි. එහි ව්‍යංග්‍යාර්ථය 'ආචාර්ය ගුණවර්ධනයන්'ම දන්නවා විය හැකිය. කරුණු කෙසේ වෙතත් මේ දිනවල සිදු වෙමින් පවතින යම් යම් කාරණා හේතු කොටගෙන 'පොල් ලෙලි' කතාව ගැන නැවත සිතන්නට මාවත විවර කොට තිබේ.  
දකුණු පළාතේ නව සභිකයන් 490 ඇතුළු සභිකයන් 1074 දෙනකු වෙනුවෙන් මාසිකව ගෙවීමට නියමිත දීමනා සඳහා පමණක් එක් වර්ෂයක් වෙනුවෙන් රුපියල් මිලියන 234.3ක මුදලක් වැයවන අතර, වසර හතරක කාලයක් සඳහා ඔවුන්ට දීමනා ගෙවීම පිණිස පමණක් රුපියල් මිලියන 937.2ක මුදලක් වැය වනු ඇත. ඒ මුදල පසුගිය පළාත් පාලන මැතිවරණයෙන් පසුව දකුණු පළාතේ පළාත් පාලන ආයතන 49 සඳහා තේරී පත්වූ මන්ත්‍රීවරුන් වෙනුවෙන් වාර්ෂිකව ගෙවූ මුදලට වඩා සාපේක්ෂව රුපියල් මිලියන 76.5 වැඩිවීමකි. සිව් වසරක් සඳහා එය රුපියල් මිලියන 306.2ක වැඩි වීමකි. මේ අනුව ගත් විට ඔවුන් වෙනුවෙන් මුළු රටම දරන වැය බර අති විශාලය. මහජනතාව මේ නියෝජිතයන්ව පත්කොට යවන්නේ කිසියම් අපේක්ෂාවක් ඇතිවය. ආචාර්ය බන්දුලගේ තර්කයට අනුව නම් එය නොගැළපෙතත්, සවිඥානික ඡන්ද දායකයා ස්වකීය ඡන්දය ප්‍රකාශ කරන්නේ 'පොල් ලෙලි'වලින් ඔබ්බට අපේක්ෂාවන් සහිතවය.
කාන්තා නියෝජනය යහමින් ලැබෙන විට තරුණ නියෝජනය නැති වෙලා ගිහින්ය. කාන්තාවන්ගේ දේශපාලන ගමනය යහපත් ප්‍රවනතාවක් වුවත්, ඊට සාපේක්ෂව තරුණ නියෝජනය දුර්වල, පළාත් පාලන ආයතන බිහි වී තිබේ. මේ රට දෙවරක් තරුණ කැරලිවලින් සොහොන් බිමක් වූ රටක්ය. ඒ කැරලිවලට විසඳුම් ලෙස 'තරුණ ප්‍රඥප්තියක්' හැදූ රටක්ය. සියලු තැන්හි තාරුණ්‍යයේ නියෝජනය අපේක්ෂා කළ වාර්තා හැදූ රටක්ය. එහෙත් මෙවර එය යථාර්ථයක් වී නැත.   
මේ දිනවල සිදුවෙමින් පවත්නා අතිශය පිළිකුල් සහගත ක්‍රියාවලිය දෙස් දෙන්නේ, එකී අපේක්ෂා සහගත ඡන්ද දායකයාගේ පරමාධිපත්‍යය උඩ සම හරක් නියෝජිතයෝ 'පිස්සු නටන' හැටි දුටු විටය. තම නියෝජනය කුණුකොල්ලයට අලෙවි කරමින් තනතුරු, වරදාන සහ වරප්‍රසාද වෙනුවෙන් ගණිකා වෘත්තීයේ යොදවන පිරිස් මේ දිනවල සුලබ ය. මැතිවරණ සමයේ වැඳගෙන ආව සමහරු මේ දිනවල 'තනතුරක් වෙනුවෙන්' නියෝජිතකම පාවාදෙන අයුරු හිරිකිත ය.
මේ දිනවල සභාපති උපසභාපති ධූර පත්කරන විට සිදුවන්නේ 'අමුතුම' ආරක සිදුවීම්ය. සමහරු අතුරුදන් වෙලාය; සමහරු අසනීප වෙලාය; සමහරු ස්වාධීන වෙලාය; තමන්ට තනතුරක් නොදුන්නොත් 'පනිනවා' යැයි තර්ජනය කිරීම්ය. එහෙම පිටින්ම විගඩමක් බවට පත් වූ සභා නියෝජිත පිරිසක් පත් වෙලාය.
මහජන නියෝජිතයන් බිලි බා ගැනීමට සල්ලි වීසි කළ කුප්‍රකට සිදුවීම් මෙරට සුලබ ය. ෆ්‍රැන්සිස්‌කු පැහැරගෙන ගියේ දොඩන්ගොඩ මහ ඇමැතිවරයා සිය ප්‍රථම අයවැය නැතහොත් මුදල් ප්‍රකාශනය දකුණු පළාත් සභාවට ඉදිරිපත් කළ දිනට පසුදින විවාදය ඇරැඹි හෝරා දෙකක්‌ ඉක්‌ම ගිය පසුවය. ඔහු අතුරුදන් වූවා ද, අසනීප වූවා ද, සැඟවුණාද යන්න දන්නේ 'ඔහුම පමණි.'
විජයග්‍රහණය සැමරුම් අභිමුව අන් සියල්ලන් පෙරමුණෙහිද ඔබ ඔවුන් පසුපසින් ද හිඳ නායකත්වය දිය යුතු වන්නේය. එහෙත් අභියෝග සහ අනතුරු අභිමුවෙහි දී ඔබ හැම විටම පෙරමුණ ගත යුතු වන්නේය. එවිට නායකයකු ලෙස ඔබ සියල්ලන්ගේම ගෞරවාදරයට පාත්‍ර වනු ඇත කියා මැන්ඩෙලා පවසා තිබේ. අවාසනාවට අපි පත්කොට යවා තිබෙන්නේ තමන්ගේ බඩවියත සහ බලය ගැන පමණක් සිතන 'දුදනන්' පිරිසක් ය. පළාත් පාලන ආයතනවල පිස්සු නටන මෙවැනි පිරිස් ඉන් ඔබ්බට ගියොත්, මීට වඩා වෙනස් යමක් බලාපොරොත්තු විය නොහැකි ය.
මෙලෙස ගත් කල මහජන නියෝජිතයන් ජනතා වරමින් පත්ව පිස්සු නටන්නේ නම් එවැනි නියෝජිතයන් 'පොල්ලෙලි' ලෙස හඳුන්වනවාට වඩා ඔවුනට පොල් පුන්නක්කු දීම යහපත් නොවන්නේදැ යි සිතේ.

මාතෘකා