මාරයා හඳුනා ගනිමු

මාරයා හඳුනා ගනිමු

ටොනාඩෝව හමන්නේ වියරුවෙන්ය. සියල්ල තළා,පෙළා, සුන්නද්දූලිකොට ටොනාඩෝව හමායයි. 'මත්ද්‍රව්‍ය' සම්බන්ධවද තත්ත්වය එබඳුමය. එහි භයානකම කාරණය  මේ ව්‍යසනය දැයේ දරුවන්ද ග්‍රහණයට ගැනීමය.

දිනපතාම, පාහේ රටේ නන් දෙසින් ඇසෙන්නේත්, පෙනෙන්නේත්, මත්ද්‍රව්‍ය, මත් පෙති මත්කුඩු ආදිය පිළිබඳව පුවත්ය. එය ලෝක මට්ටමින්ද අතිශය බිහිසුණු, අවාසනාවන්ත තත්ත්වයක්ය. පිළිකාවක් ශරීරය පුරා ව්‍යාප්තව යන්නේ යම් සේද මත් උවදුරද ඉතා ශීඝ්‍රයෙන් ලෝකය ගිල ගනිමින් සිටී.

නවතම ආකාරයේ මත්ද්‍රව්‍ය රටට කෙසේ හෝ පැමිණේ. එසේ පැමිණෙන බොහෝ මත්ද්‍රව්‍ය ගම්දනව් කරා ව්‍යාප්ත වේ. මේවායින්  පොලිසියට හසුවන්නේ සියයට 10 සිට 15 දක්වා සුළු ප්‍රමාණයකි. සෙස්ස ගම්දනව් කරා වේගයෙන් සැරිසරයි.

"මත්ද්‍රව්‍ය " ප්‍රබල රසායනයකි. ඉතා සුළු ප්‍රමාණයකින් වුවද සැලකිය යුතු බලපෑම් ඇති කිරීමට සමත් මෙම ද්‍රව්‍ය මොළය ඉලක්ක කොට ශරීරයේ අනෙක් කොටස්වලට ප්‍රබල බලපැම් එල්ල කරයි. එමෙන්ම භාවිත කරන්නා තුළ මේවාට නැඹුරුවක් ඇති කිරිමටද මේවා සමත්ය. ගංජා, හෙරොයින්, දුම්වැටි හා මද්‍යසාර දැනට අප රටේ භාවිත වේ. අතිතයේ භාවිත‍ කළ අබින්ද මෙයට අයත්වේ. මත්ද්‍රව්‍ය ගැන ලංකාවේ නීති රීති පද්ධතියක් පවතී. නීති විරෝධි අබි හෙරොයින් ‍‍මොෆීන් වැනි මත් ද්‍රව්‍ය අලවි කිරීම මෙන්ම වෙනත් හේතු සඳහා පරිහරණය හා ප්‍රවාහනයද තහනම්ය. භාවිත කරන හෝ ළඟ තබා ගැනීමද දඬුවම් ලැබිය හැකි වරදකි. එහෙත් ඒ දඬුවම් කොතෙක් දුරට ක්‍රියාත්මක වන්නේද යන්න අප කාටත් ගැටලුවකි.

ක්‍රි.ව.1505දී ලංකාව පෘතුගීසීන්ද ඉන්පසුව ලන්දේසින් හා ඉංග්‍රිසීන්ද ආක්‍රමණය කරන ලදි. ප්‍රථමයෙන්ම පෘතුගීසි ජාතිකයන් විසින් අබිං කෑම ලංකාවට හඳුන්වා දෙන ලද අතර පෘතුගීසි හා ලන්දේසි සොල්දාදුවෝ බහුල වශයෙන් අබිං කෑමට පුරුදු වී සිටියහ. 1829දී එකල සිටි ඉංග්‍රීසි ආණ්ඩුකාරතුමා  ශ්‍රී ලංකාවේ අබිං වගාව සංවර්ධනය කිරීම සඳහා ගොවීන් දිරිමත් කිරිම පිණිස අනුබල දුන්නේය. මෙයට විශේෂයෙන් හේතු වූයේ වතුකරයේ සේවය කළ ද්‍රවිඩ ජනතාවගේ අවශ්‍යතාව සඳහා අබිං ගෙන්වීම කරන අතරතුරදීම ලංකාවේ වගා කිරීමට උනන්දු කිරීමය.

මත්ද්‍රව්‍ය භාවිතය නිසා සෞඛ්‍ය වියදම්, රැකියාවල ඵලදායීතාව අඩුවීම, වැටුප් අහිමි වීම හා අපරාධ හේතුවෙන් අමෙරිකා එක්සත් ජනපදයේ වාර්ෂිකව ඩොලර් බිලියන 100ක පාඩුවක් සිදුවන බවට ගණන් බලා තිබේ. එනමුත් ඇතැම් විට වැඩියෙන්ම පාඩු විඳින්නේ දරුවන්ය. බ්‍රසීලයේ ජූර්නාල් ඩා ටාර්ඩෙහි පළවූ එක් අධ්‍යයන වාර්තාවකට අනුව වයස අවුරුදු 10ත් 17ත් අතර සිටින නාඹරයන්ගෙන් සියයට 24.7ක් මේ වන විටත් මොන යම් හෝ මත්ද්‍රව්‍යයක් අත්හදා බලා තිබේ.
බ්‍රිතාන්‍යයෙන් එන වාර්තාවද මීට සමීපය. වයස අවුරුදු 11ත් 15ත් අතර සිසුන්ගෙන් සියයට 12ක් බ්‍රිතාන්‍ය තුළ පසුගිය අවුරුද්දේදී මත්ද්‍රව්‍ය භාවිතකර ඇත.

මේ වන විට නවතම වර්ගයේ මත්ද්‍රව්‍යද ඇතුළු ව ඉතාමත් භයානක මත්ද්‍රව්‍ය රාශියක් රට පුරා ව්‍යාප්තව තිබේ. අද වන විට මත්ද්‍රව්‍ය දැවැන්ත ව්‍යාපාරයක් ලෙස ව්‍යාප්තව පවතින අතර ගණනය කළ නොහැකි තරම් ධනස්කන්ධයක් ඒ හරහා හුවමාරු වෙයි.

“මත්ද්‍රව්‍ය සමාජය සුනු විසුණුකර දමයි. අපරාධ සඳහා තෝතැන්නක් නිර්මාණය කරයි. ඒඩ්ස් වැනි රෝග පතුරුවා හරියි. අපේ තරුණ තරුණියන්ගේ ජීවිත හා අපේ අනාගතය විනාශ කර දමයි.” එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු මහා ලේකම් කොෆි අනන් වරක් එහෙම කීවේය.

1986 අප්‍රේල්, මැයි මාසවලදී පමණක් ඩොලර් 40,000,000 වටිනා මත්ද්‍රව්‍ය තොග සමඟ ශ්‍රී ලංකා ජාතිකයින් 80 දෙනෙක් අත් අඩංගුවටගෙන ඇත. 80 දශකය තුළ පමණක් ශ්‍රී ලංකාවේ දෙමළ 200කට මත් ද්‍රව්‍ය චෝදනා පිළිබඳ‍ යුරෝපීය රටවලදී නඩු පවරා ඇත.

අන්තරායකර ඖෂධ පාලන අධිකාරියේ සංඛ්‍යාලේඛන අනුව 2011 වසරේදී මත්ද්‍රව්‍ය උවදුරින් වරදකරුවන් වී අත්අඩංගුවට ගත් සංඛ්‍යාව 40000කි. එයින් 1%ක් කාන්තාවන්ය. එයින් 66%ක් (ගංජා) භාවිත කරන්නන් වන අතර 34% හෙරොයින් භාවිතා කරන්නන්ය. මිල ගණන් සැසඳූ විට හෙරොයින් කිලෝග්‍රෑම් 1ක් රුපියල් මිලියන 6ක් පමණ වේ. ව්‍යසනයේ තරම වටහා ගන්නට ඒ ප්‍රකාශයම ප්‍රමාණවත්ය.

මහ ධනස්කන්ධයක් සමඟ කරන ගනුදෙනුවක් නිසා දැවැන්ත ජාවාරම්කරුවන් වෑයම් කරන්නේ ඉදිරි පරම්පරාවෙන් ඔබ්බටත් ව්‍යාපාරය පවත්වාගෙන යන්නටය. එනිසා ඔවුහූ 'සමනළ පැටවුන්' ඉලක්ක කොටගෙන මෙහෙයුම් දියත් කරති. ඔවුන්ගේ ගොදුර වන්නේ 'නොදරුවන්ය'.

අප ප්‍රාර්ථනා කරන්නේ ලෝකය වෙනස් කරන පරම්පරාවක්ය. එහෙත්, ඒ වෙනුවට පුනරුත්ථාපන කඳවුරුවලට හෝ සිරගෙයට ගාල් කරන පරම්පරාවක් බිහි වෙනවා නම් එය අවාසනාවකි. එසේ නොවන්නට නම් මේ මත්ද්‍රව්‍ය ව්‍යසනය එකලාම තුරන් කළ යුතුමය.

මාතෘකා