ආදර්ශවත් ආරාධනාවක්

ආදර්ශවත් ආරාධනාවක්

කොළඹ මහ නගර සභාවට තේරී පත් වූ මන්ත්‍රීවරුන් දිවුරුම් දීමේ උළෙලේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මසුරන් කතාවක් කර තිබේ. බයිසිකලයෙන් දේශපාලනයට ඇවිත් බෙන්ස් කාරයෙන් යන්න හදන්න එපා යැයි අවවාදයක් එතුමා කොළඹ නගර සභාවේ  කණිෂ්ඨ මන්ත්‍රීවරුන්ට ලබා දී තිබේ. අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රකාශය මේ මොහොතේ රටේ දේශපාලනය පත්ව ඇති තත්ත්වය කෙතරම් සංකීර්ණ හා විහිලු සහගත එකක්ද යන්න මනාව පෙන්වාලන කැඩපතක් බඳුය. මේ රටේ පිළිගත් සෑම රැකියාවක් සඳහාම සපුරාලිය යුතු සුදුසුකම් ප්‍රමාණයක් තිබේ. නමුත් මේ මොහොතේ ඒ සුදුසුකම් කිසිවක් අවශ්‍ය නැති එකම වෘත්තීය දේශපාලනය පමණී. මෙසේ කී විට දේශපාලනය වෘත්තියක් නොව, සේවාවක් යැයි කියා යමෙකුට තර්ක කළ හැකිය. කෙසේ නමුත් ජනතාවට වගකියන පිරිසකට කිසියම්ම හෝ අවම සුදුසුකමක් අවැසි යැයි බොහෝ දෙනාගේ මතයයි. ඕනෑම ගොබ්බයකුට ඡන්දය ඉල්ලීමට හැකි වීමේ පදනම මත හා  වැස්සට පමණක් පාසල් ගිය අය දේශපාලනයට අවතීර්ණ වීම තුළ දේශපාලනය මේ වනවිට තක්කඩීන්ගේ සූදුවක් බවට පත් ව තිබේ. මේ තත්ත්වය වඩාත් දැකගත හැක්කේ ප්‍රජාතන්ත්‍රීය භාවිතාවන්ට තැනක් ලබා නොදෙන රටවලය. අවාසනාවකට අප ද එම රටවල් කුලකය තුළට මේ වනවිට ඇතුලත්ව ඇත.

සුපැහැදිලිවම අද ශ්‍රී ලංකාවේ ජනප්‍රියවාදී දේශපාලනය යනු කැත සෙල්ලමකි. වෘත්තීයමය ධූරාවලිය තුළ කිසිදු මූලික සුදුසුකමක් අවශ්‍ය නොවන වෘත්තියක් බවට අද දේශපාලනය පත්ව තිබේ. එම තත්ත්වය රටට හිමිකරදී ඇත්තේ අපකීර්තියක්, පාඩුවක් මිස ලාභයක් නොවේ. සහතිකවම,  ශ්‍රී ලංකාව වැනි දේශපාලන, සංස්කෘතිය හා සදාචාරය මැනවින් වර්ධනය නොවූ රටක දේශපාලන බලය හා වරප්‍රසාද රටට උදාකර දී ඇත්තේ එතරම් යහපත් වූ ප්‍රතිඵලයක් නොවේ.

මෙරට දේශපාලනය සමඟ හොර මැරකම්, ධනය තරකර ගැනීම්, ලාබ උපරිමකර ගැනීම් නිරතුරුවම බැඳී පවතී. ඒවා මෙරට දේශපාලන දේහය වසා සිටින අවතාරය. සාක්ෂරතාවය අතින් අප කෙතරම් ඉදිරියෙන් සිටින බවට පුරාජේරු කතා කීවද දේශපාලන සංස්කෘතිය අතින් අප තවමත් සිටිනුයේ අන්ත පසුගාමී ස්ථානයකය.

දේශපාලන බලය හා වරප්‍රසාද අතර ඇති, මේ ළඟ සම්බන්ධතාව දැකිය හැක්කේ නොදියුණු දේශපාලන සංස්කෘතියක් සහිත රටවල පමණි. අවම තරමින්, ප්‍රජාතන්ත්‍රවාදී භාවිතාවන්ට ඉහළ වටිනාකමක් ලබා දෙන රටවල මැතිවරණයෙන් අනතුරුව බලයට පත්වීම කියා යෙදුමක්වත් භාවිතා නොකරන මුත් අප තවමත් හුරුව සිටිනුයේ Coming to power යන යෙදුම භාවිත කිරීමටය. දියුණු රටවල මැතිවරණයකින් අනතුරුව Coming to power වෙනුවට සඳහන් කරනුයේ Coming to office හෙවත් රාජකාරී ඇරඹීම යන්නය.

අවාසනාවකට දේශපාලනය මේ වනවිට කැත සෙල්ලමක් බවට පත්ව තිබුණද, ජනතා මුදල් කොල්ලකෑම වෙනුවට සැබැවින්ම ජනතාවට සේවය කළ දේශපාලනඥයන්ද මේ රටේ නොසිටියා නොවේ. සිව් වරක් මේ රටේ අග්‍රාමාත්‍යකම් කළ ඩඩ්ලි සේනානායක මහතා අවසන් හුස්ම හෙළන මොහොතේ ඔහුගේ බැංකු ගිණුමේ ශේෂය ලෙස සඳහන්ව තිබුණේ රුපියල් හාරසිය ගණනකි. අවංක රාජ්‍ය නායකයකුගේ දේශපාලන ජීවිතය අවබෝධ කර ගැනීමට එය පමණක් ප්‍රමාණවත්ය. අතිවිශාල ධනයක් වැයකර, අතිශය තරගකාරී මැතිවරණ ව්‍යාපාරයක නිරත වෙමින් දේශපාලනයට පැමිණි පසු දේශපාලනඥයන් උත්සාහ කරනුයේ ජනතාව වෙනුවෙන් සේවය කිරීමට හෝ ප්‍රතිපත්ති සම්පාදනයට නොවේ, ඔවුන් උත්සුක වනුයේ මැතිවරණ සමයේ තමන් වියදම් කළ මුදල මෙන් දෙතුන් ගුණයක් ඉතාම කෙටි කාලයක් තුළ උපයා ගැනීමටය. එය මේ වනවිට රටේ දේශපාලනය තුළ පුරුද්දක්, නොඑසේනම් විලාසිතාවක් බවට පත්ව ඇත. එවැනි සන්දර්භයක රටේ දෙවන පුරවැසියා ලෙස අග්‍රාමාත්‍යවරයා විසින් දී ඇති මෙම අවවාදය ඉතාම සාධනීය වූවකි.

දැන් මේ ආධුනික දේශපාලනඥයන් උත්සුක විය යුත්තේ ලාබ උපරිම කර ගැනීම වෙනුවට තම නායකයාගේ අවවාදය ගුරුතැන්හි ලා සලකමින් වැඩි වැඩියෙන් ජනතා සේවයට කැපවීමය. එය මේ රට වැටී ඇති අගාධයෙන් ගොඩ යෑම සඳහා හොඳ ආරම්භයක් ප්‍රමාද වී හෝ සපයනු නිසැකය.  

මාතෘකා