සමනළ තටු ගලවන රට

සමනළ තටු ගලවන රට

මල් පූදින්නේ දෑඟිලි අතරේ තැළී පෙළී මියැදෙන්න නොවේ' යනුවෙන් අපූරු ගීතයක් තිබේ. සාහිත්යික වශයෙන් එය මනරම් ගීතයක් බව සැබවි. එහෙත් මේ සටහන සාහිත්‍යයික සටහනක් නොවන වග කිවමනාය. දකුණු ඇමරිකානු ලේඛක ගේබ්‍රියල් ගාර්ෂියා මාකේස්ගේ 'අහිංසක එරෙන්දිරා' නම් කතාවක් තිබේ. එහි අවුරුදු 14 ක් වයසැති එරෙන්දිරා තම ආත්තම්මා සමඟ ජීවත්වන අසරණ දැරියකි. දිනක් අනපේක්ෂිතව එරෙන්දිරා අතින් තම ආත්තම්මාගේ නිවසට ගිනි ඇවිළෙන අතර ගින්නෙන් නි‍වෙස මුළුමනින්ම විනාශ වේ. සිදු වූ අලාබය එරෙන්දිරා විසින් ආපසු ගෙවිය යුතු යැයි එරෙන්දිරාට අණ කරන ආත්තම්මා කුඩා එරෙන්දිරාව ලිංගික ශ්‍රමිකාවක් හෙවත් ගණිකාවක් බවට පත්කොට කරත්තයක නංවාගෙන පිරිමින්ගේ තෘප්තිය සඳහා  අලෙවි කරයි.  එරෙන්දිරාගේ සේවය ලබා ගනු පිණිස පිරිමින් පෝලිම් ගැසී සිටිති. මීට වසර කිහිපයකට පෙර, ශ්‍රීලංකාව ආසියාවේ ආශ්චර්යය කරන්නට යත්න දරන අවධියේ, රැකියාවක් සොයා තංගල්ල නගරයට පැමිණි 14 හැවිරිදි පාසැල් සිසුවියක තංගල්ලේ හෝටල් හතරක දින හයක් තිස්සේ රඳවාගෙන පුද්ගලයන් 25 දෙනෙකුට අධික පිරිසකට අලෙවි කර දූෂණය කරවූයේ මේ  රටේ ය.

අකුරැස්සේ ජනතාවගේ වැඩිම මනාප ලබා පත් වුණු අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිවද අවුරුදු 13ක දැරියක් දූෂණය කිරීම පිළිබඳව චෝදනාවක් එල්ල වී ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේ එවකමය. සියක් දැරියන් කෙලෙසූ බවට චෝදනා එල්ල වූ සභාපතිවරු මෙරට සිටියහ. කොටදෙනියාවේ සේයා, යාපනයේ විද්‍යා වැනි සිදුවීම් මෙරට සමාජ දේහය සසල කළ ඒවාය.

ඊටත් ඉහත 80 දශකය භීතියෙන් කම්පා කරවූයේ 'මතුගම සමන් කුමාර' ඝාතනයෙනි. ඔහුගේ ඝාතනය 'සීමාව ඉක්මවා ගිය' මට්ටමේ මාධ්‍ය ප්‍රචාරයකින් සමාජගත විය. කැසට් පට, කවි කොළ, විරිඳු, ගීත ආදියෙන් එකී ඝාතනය  'සාමාන්‍යකරණය' උදෙසා නොදැනුවත්ව  හේතු පාදක වූ කාරණාය.

අප දරුවන් ගැන පූර්විකා තබන්නේ අතිමහත් වගාඩම්බරයකිනි. ඉන් අනතුරුව කෙළවරක් නොවන ළමා ඝාතන, දුෂණ, අතවර සහ හිංසා සිදු විය. ඒ සියල්ල කාලයේ වැලිතලාවෙන් මැකෙන්නටත් පෙර තවත් සිදුවීමක් සිදු වෙයි.

'රට බාරයි ඔබට පුතේ' කියා අප ශීර්ෂපාඨ යොදන්නේ හෙට නොවේ අද වුණත් රට බාර දෙන්නට සූදානම් ගානටය.

අනාදිමත් කාලයක සිට ශ්‍රී ලංකාව දියුණු හර පද්ධතියක් හා සදාචාරාත්මක සමාජයකින් යුක්ත වූවක් බවට දෙස් දෙන රටකි. මාතෘ සෙනෙහසත් පීතෘ සෙනෙහසත් අසීමිත ලෙස ජීවිතයේ වැඩි කලක් අත්විඳීමේ භාග්‍යය මෙරට දරුවාට හිමි ව තිබෙන අතිරේක වාසියක් ගානය. මානව සබඳතාවලදී දරුවන් සහ දෙමවුපියන් අතර සහ සම්බන්ධය ලොව බොහෝ රටවලට සාපේක්ෂව ලංකාවේ සමීපතය. එසේ වුවද කාලයාගේ ඇවෑමෙන් සිදු වූ සදාචාරාත්මක පිරිහීම තුළ අද වන විට ළමුන්ගේ යහ පැවැත්ම දෙමාපියන්ටද, සමාජයටද බරපතළ ගැටලුවක් බවට පත් වී ඇත.  ළමා අපයෝජනවලින් සහ ක්‍රෑර ලෙස දරුවන් ඝාතනය කිරීම්වලින් සමන්විත පුවතක් නැති දවසක් සොයා ගැනීම පවා උගහට තත්ත්වයට පත්ව තිබේ.

සාමාන්‍ය භාවිතයෙන් වඩාත් හික්මුණු ජීවන චර්යාවක් සහ ආගමික නැඹුරුතාවක් ඇතැයි පැවසෙන ශ්‍රී ලංකාවේ සමාජ ප්‍රශ්න අතර ළමා අපචාර ප්‍රධාන තැනක් ගනී. ළමා අපචාර ශ්‍රී ලංකා සමාජයේ නිරන්තර සාකච්ඡාවට ලක්වන මාතෘකාවක් බවට පත්ව ඇත.

මේ රට වනාහී වැඩිහිටියන් සිපවැළැඳ ගැනීමේ දර්ශන, දුම්බීමේ හෝ මත්පැන් පානය කිරීමේ දර්ශන පවා කොටු දමා වාරණයට ලක් කොට ඇති රටකි. එහෙත් සමනළ තටු බිඳීම මෙරට තරම් සිදුවන තවත් රටක් වෙත්නම් ඒ කලාතුරකින් හමුවන රටක්ය.

අනෙක් අතට මෙවැනි සිදුවීම් වලදී මාධ්‍ය හැසිරිමද පවතින්නේ අවර ගනයේ ය. 'කුණු රස' අලෙවි කිරීම ප්‍රධාන මාර්ගය බවට තෝරාගත් යම් යම් මාධ්‍ය වගකීම් විරහිත හැසිරීමෙන් ඉතිරි කරන්නේ ඛේදවාචකයක්ය.

දණ්ඩ නීති සංග්‍රහයේ 364 වගන්තියේ සඳහන් පරිදි ස්ත්‍රී දූෂණයක් සඳහා වසර 7 සිට 20 දක්වා බරපතළ වැඩ සහිත සිරදඬුවම් හා වන්දි නියම කළ හැකිය. එහෙත් ලිංගික අපයෝජනවලට ලක්වන දරුවන්ට යුක්තිය ඉටු කිරීමේදී ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණදීමට සිදු වේ. බොහෝ විට ඒ දරුවා නැවත වින්දිතභාවයට පත් වේ. සාධාරණ සැකයෙන් ඔබ්බට මෙවැනි නඩුකරයක් ඔප්පු කළ යුතු බැවින් චුදිතයන් නිදහස් වීමට වැඩි ඉඩකඩක් තිබේ. මේ සම්බන්ධයෙන් විවේචන මතු වී ඇති අතර ඒ විවේචනවල සත්‍යතාවක් ද පවතී.

මේ වසරේ මුල් මාස දෙක තුළ පමණක් ළමා අපයෝජන සම්බන්ධ සිදුවීම් 1532ක් වාර්තා වී තිබීමෙන් තත්ත්වය කෙතරම් සංකීර්ණ වී ඇත්ද යන්න පෙනී යයි. සැබවින්ම දිනෙන් දින සිදුවන්නේ මේ ඛේදවාචකයන්ගේ වර්ධනයකි.

අපි කතා කරන ශිෂ්ටත්වය කුමක්දැයි නොපමාව නැවත සිතා බැලිය යුතුය. එසේ නොසිතන්නේ නම් මේ රට 'වැඩිහිටියන්ගේ' රටක් පමණක් වන දිනය වැඩි ඈතක නොවනු ඇත.

මාතෘකා