ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස පැලඳිය යුතු පදක්කමක් නොවේ

ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස පැලඳිය යුතු පදක්කමක් නොවේ

ක්‍රීඩාව යනු ඇදහිය යුතු ධර්මතාවක් මිස, පැළඳිය යුතු පදක්කමක් නොවේ...'කියා ප්‍රකට කියමනක් තිබේ. ක්‍රීඩාව යනු, ජය, පරාජය, සතුට, කඳුළ, මුසු වූ සුන්දර අත්දැකීමකි. ඉවසීම, කැපවීම, අධිෂ්ඨානය, ආත්ම විශ්වාසය, චිත්ත ධෙර්යය කැටි වූ සාර්ථක පුද්ගලයෙක් නිර්මාණය කරන්නට ක්‍රීඩාවෙන් ලැබෙන අනුබලය අති විශාලය. එකිනෙකා කෙරෙහි වියරුව යුද වදින දෙරටක් පවා ක්‍රීඩාවේ නාමයෙන් එකට එක් ව ඒ සහෝදරත්වය බෙදා හදා ගනිති.
ක්‍රීඩා කරන්නේ දිනන්නම නොවන බවත් වඩා වටින්නේ සහභාගීත්වය බවත් ඔප්පුකොට ලෝකයෙන් පැසසුම් ලැබූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. ඒ හා සමානවම ක්‍රිකට් ලෝක කුසලානයද සමඟ තවත් කුසලාන රැසක්ම දිනූ ඉතිහාසයක් ශ්‍රී ලංකාව සතුව තිබේ. එහෙත් ඉතා සුළු සිදුවීමක් දෙකක් හැරුණුකොට කිසිම විටෙක ශ්‍රී ලංකාව ක්‍රීඩාවේ ජීව ගුණය 'කානු පල්ලට' දමා ඇති ඉතිහාසයක් වාර්තා වන්නේ නැත. ශ්‍රීලංකාවට සාපේක්ෂව, තාමත් ක්‍රිකට් ක්‍රීඩාවට ආධුනික බංගලාදේශයේ හැසිරීම වඩාත් ප්‍රාථමික මට්ටමෙහිලා සලකන්නට සිදුවන්නේ ඔහුන්ගේ හැසිරීමෙහි 'කැත'  පිළිකුල් සහගතව හෙළා දකින ගමන්මය.
මේ දිනවල පැවැත්වෙන්නේ නිදහස් කුසලාන ක්‍රිකට් තරඟාවලියය. ඉන්දියාව හැරුණුකොට ඊට එක් ව සිටින බංගලාදේශය තරඟාවලියට එන්නේ ම 'අරියාදුවක්' පිරිමසා ගන්නට වගේමය. වසර ගණනක් පුහුණුකරු ලෙස කටයුතුකොට බින්දුවේ සිටි බංගලාදේශය 'සැලකිය යුතු මට්ටමට' ඔසවා තැබූ චන්දික හතුරුසිංහව ශ්‍රීලංකාවේ පුහුණුකරු ලෙස ගලවා ගැනීම සම්බන්ධව බංගලාදේශය සිටිනුයේ කිසියම් උරණ වීමකය. එකී උරණවීම ඔවුන් පිට කරන්නේ වියරු ස්වරූපයකින්ය. උපහාසය ඉක්මවා ගිය අපහාස ස්වරූපයකුත්, සීමාව ඉක්මවාගිය අශ්ශීල පැවැත්මකුත් ඔවුහු පිටියේත් ඉන් පිටතත් පෙන්නුම් කරමින් සිටිති.
කණ්ඩායම මෙහෙයවන නායකයාගේ සිටම ඔවුන් ප්‍රදර්ශනය කළේ තවදුරටත් ඔවුන් ක්‍රීඩාව සම්බන්ධව පුණුරුත්ථාපනය අවධියේ සිටින බවය.
එය එසේනම් ඔවුනට අනුකම්පා කීරීමෙහි වරදක් නැත.
නමුත් මෙවැනි විකාරරූපී හැසිරීම් රටා ක්‍රීඩාව රැගෙන යන මානය සම්බන්ධ ව ඉතාමත් 'නරක' පූර්වාදර්ශ සපයයි. අවසන් පූර්ව තරඟය උණුසුම් මුහුණුවරක් ගත් බව සැබවි. එහෙත් එකී උණුසුම අතර බංගලියන්ගේ හැසිරීම පෙන්නුම් කළේ නොමනා ස්වරූපයකි. විනිසුරු තීරණවලින් උරණව ටී ෂර්ට් ගලවා, අත් ලෙළවමින් පෙන්නුම් කළ හැසිරීම් රටා 'තග්' කණ්ඩායමක නොමනා බව විදහා පායි.
ක්‍රීඩාවේ ජය මෙන්ම පරාජය ද විඳ ගැනීමට සිදුවෙයි. ජය පරාජය උපේක්ෂාවෙන් විඳ දරා ගැනීමට ක්‍රීඩාවෙන් විශාල පිටිවහලක් ලැබෙයි. ජයග්‍රහණයේදී උද්දාම වීමත්, පරාජයේදී කම්පා වීමත් සාමාන්‍ය මනුෂ්‍ය ස්වභාවයයි. ක්‍රීඩාවේදී පමණක් නොව ජීවිතයේ විවිධ අවස්ථාහිදීත් ජය පරාජය දෙකටම මුහුණ දෙන්නට අපට සිදු වේ. ඇතැම්හු පරාජය දරාගත නොහැකිව ජීවිතයෙන් සමුගනිති. ජය පරාජය දෙකම සතුටින් බාර ගැනීමට පුරුදු වූ පුද්ගලයා තමන්ට අද ලැබුණු පරාජය හෙට ජයග්‍රහණයක් කර ගනියි. ක්‍රීඩකයෝ කිසි විටෙකත් පරාජයේදී පසු නොබසිති. තමන්ට ලැබුණු පරාජය ද ජයග්‍රහණයක් කර ගැනීමට උත්සාහ  දරති. එහෙත් මේ ධර්මතා වෙනුවට 'මුඩුක්කු' පන්නයේ හැසිරීම් රටා පිටියට රැගෙන ඒමෙන් සිදුවන්නේ අගතියක් වින සුගතියක් නොවේ.
ජයග්‍රහණයෙන් උද්දාම වූ බංගලාදේශ් කණ්ඩායම  ක්‍රීඩක විවේකාගාරයේ 'යකා නටා' තිබිණි. එහි වීදුරු ආවරණ කඩා බිඳ දමමින් ජයග්‍රහණයේ 'අසිරිය සමරා තිබිණි.
අසීමාන්තික ගැරහිලි මැද, අපහාස උපහාස මැද අනන්ත පරාජයන්ගෙන් පීඩා විඳ, එහෙත් උත්සාහය, කැපවීම මත නොනවතින ජයග්‍රහණ ලද බටහිර ඉන්දිය කොදෙව් ක්‍රිකට් ඉතිහාසය කියැවීම බංගලිදේශය කළ යුතු ම එකකි. නයි නැටුම හමාරකොට විවේකයක් ලද විගස ‘ෆයර් විත් බැබිලෝනියන්‘ නැරඹුවා නම් එය බංගලිදේශයට අනාගත හිත සුව පිණිස වනවාට සැක නැත.
වීරයන් බිහිවන්නේ තක්කඩිකම්වලින් නොව උදාරත්වයෙන් බව ඔවන් වටහා ගත යුතුය.
2001 වසරේ දී ඉන්දියානු ටෙස්ට් කණ්ඩායම ඕස්ට්‍රේලියානු සංචාරයක නිරත විය. එහි අවසන් තරගය විශේෂ තරගයක් වූයේ ස්ටීව් වෝ සිය ටෙස්ට් දිවියෙන් සමු ගැනීමේ තරගය ලෙස එය නම් කිරීම නිසා මෙන්ම, තරගාවලිය 1-1ක් ලෙස සම තත්වයේ පැවතීම නිසායි. ඉන්දියාවට හිසරදයක් වෙමින් පිතිකරණයේ යෙදී සිටි ස්ටීව් වෝ ට, වයස අවුරුදු 16ක දරුවකු වශයෙන් ඉන්දියානු කඩුලු රැකීමේ නිරත වූ පාර්තිව් පටෙල් මෙසේ කීවේ ඔහුව රවටන අයුරිනි.
“ස්ටීව්, විශ්‍රාම යන්න කලින් අර ඔයා ගහන විදිහේ ලස්සන ලොකු ස්වීප් පාරක් ගහනවද?”
එවන් චාටු කතා පිළිබඳ වසර ගණනක පළපුරුද්ද සහිත ස්ටීව්වෝ, මෙසේ ඔහුව නිරුත්තර කළේය.
“පුතේ, ටිකක් ගරු කරලා කතා කරොත් හොඳයි. මං පළවෙනි ටෙස්ට් තරගෙ ගැහුවේ උඹ කලිසමේ ජරා කර ගන්න කාලේ.”
අපටත් බංගලාදේශයට කියන්නට තිබෙන්නේ ඒකමය.

මාතෘකා