පොලිසිය හා අල්ලස්

පොලිසිය හා අල්ලස්

මීට වසර එකසිය පනස් එකකට පෙර, එනම් 1866 වසරේ සැප්තැම්බර් තුන් වැනිදා ස්ථාපිත කරන ලද ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ ආදර්ශ පාඨය වනුයේ ' ධම්මෝ හවේ රක්ඛති ධම්මචාරී ' යන්නය. එය තවත් අර්ථ ගන්වමින් පොලිස් ලාංඡනයේ ධර්ම චක්‍රයක්ද නිරූපණය කර තිබේ. ධර්මය, හොඳ නරක, යහපත අයහපත පිළිබඳව වැඩි අවධානයක් එසේ පිටතට ප්‍රකාශ කළද ශ්‍රී ලංකා පොලිසියේ වත්මන් ක්‍රියාකාරිත්වය නම් ඒ හා කිසිසේත්ම සමපාත නොවන බව පෙනෙන්නට තිබේ. විශේෂයෙන්ම සඳහන් කළ යුත්තේ නීතිය හා සාමය සුරැකීමේ මූලික වගකීම පැවරී ඇති පොලිස් නිළධාරීන් ඊට අනුගත වීම වෙනුවට එය දිගින් දිගටම කඩකරමින් සිටීම පෙනෙන්නට තිබීමය. වඩාත් කණගාටුදායක තත්වය එයය. ඒ වගට තවත් උදාහරණයක් එකතු කරමින් සීදුව පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා අල්ලස් ලබා ගනිද්දී කොටු වූ පුවත 'රැස' සිය ප්‍රධාන පුවතින් ඊයේ දිනයේ අනාවරණය කර තිබුණි.
පොලිසිය හා අල්ලස් අතර ඇති සම්බන්ධය කෙතරම් සමීප එකක්ද කියතොත්, ඒ හා සම්බන්ධ සිදුවීම් ගණනාවක්ම පසුගිය කාලය පුරා අසන්නට ලැබුණි. වෙන්නප්පුවේ සහකාර පොලිස් අධිකාරිවරයා අල්ලස් ලබා ගනිද්දී කොටුවී සති දෙකක් ගත වීමටත් පෙර ඒ වරදටම තවත් ඉහළ පොලිස් නිලධාරියෙකු කොටු වීමෙන් මෙය කෙතරම් නරක ප්‍රවණතාවක් ලෙස වර්ධනය වී ඇත්ද යන්න මනාව පෙන්වයි. විවිධ රැකියා කාණ්ඩයන් යටතේ අල්ලස් ලබා ගැනීම් පිළිබඳ ලැයිස්තුවක් පිළියෙල කරහොත් දේශපාලනඥයන් හට හොඳ සටනක් ලබා දෙන තැනට පොලිස් නිලධාරීන් පත්ව තිබීම සම්බන්ධයෙන් දෙපාර්තමේන්තුවක් ලෙස දුක් විය යුතුද, සතුටු විය යුතුද යන්න තීරණය කිරීම ඔවුනට භාරය.
කෙසේ වෙතත් එක් දෙයක් නම් සුපැහැදිලිය. දිගින් දිගටම නොනවත්වා සිදුවන මෙබඳු අතාර්කික කෝලම් තුළ රාජ්‍ය ආයතනයක් ලෙස පොලිසියේ විශ්වාසනීයත්වය බරපතළ ලෙස ඛාදනය වෙමින් ඇති බවය. සමස්ත පද්ධතියම කුණු වී,
ගිලන්ව ඇති පසුබිමක පොලිසියෙන් පමණක්, එහි නිලධාරීන්ගෙන් පමණක් අහිංසක හැසිරීමක් අපේක්ෂා කළ නොහැකි මුත් වගකිව යුතු රාජ්‍ය නිලධාරීන් ලෙස මීට වඩා ගරු කටයුතු හැසිරීමක් ඔවුනගෙන් සමාජය අපේක්ෂා කරනු ලබයි.
රාජ්‍ය නිලධාරීන් ලෙස පොලිස් නිළධාරීන්ගේ තත්වය මෙබඳු සිදුවීම්වලින් බාල්දුවන බව පැවසීමට තවත් වචන නාස්ති කළ යුතු නැත. එය අනිවාර්ය යථාර්ථයකි. පොලිස් නිළධාරීන් හා සම්බන්ධ අල්ලස් ගැනීම් හා සම්බන්ධ සිදුවීම් තුළදී ඉහළ නිලධාරීන්ට අමතරව ඒ හා සම්බන්ධව වැඩිපුරම නම කියැවෙනුයේ රථ වාහන පොලිසියට සම්බන්ධ නිළධාරීන්වය. ගස්වලට හා පඳුරුවලට මුවාවී රියදුරන්ගේ වැරදි හොයන මේ පොලිස් නිළධාරීන් හට කීයක් හෝ අතමිට මෙලවූ පමණින් කිසිඳු අනවශ්‍ය කරදරයකට පත් නොවී පහසුවෙන් ගැළවී යා හැකි බවට ප්‍රබල මතයක් සමාජගත වී පවතී. උසාවි ගානේ රස්තියාදු වීම වෙනුවට රථ වාහන පොලිස් නිළධාරියෙකුගේ අතමිට මොළවමින් අනවශ්‍ය කරදරවලින් වැළකීමට පුරුද්දක් ලෙස ශ්‍රී ලංකා සමාජය හුරුව සිටී. රථ වාහන වැරදි සම්බන්ධ දඩ මුදල් මෑතකදී විශාල ලෙස ඉහළ දැමීමත් සමග එම නිෂේධනාත්මක තත්ත්වය සෑහෙන දුරට වැඩි වී ඇත. එබැවින් පොලිසියේ මේ අතාර්කිකභාවයට ජනතාවද සෑහෙන දුරකට වගකිව යුතුය. ඉන් ඔවුන්ට ගැලව යා නොහැකිය.
සමාජයක් ලෙස ශ්‍රී ලංකාවේ ඉදිරි ගමන අඩාළ කෙරුම විෂයයෙහි අල්ලස හා දූෂණය සිදුකර ඇති බලපෑම සුලුපටු නොවේ. දූෂණය හා අල්ලස සැලකෙනුයේ නිවුන් සහෝදරයන් ලෙසය. මේ දෙක ගහට පොත්ත මෙන් එකිනෙක හා බැඳී පවතී. දූෂිතයාගේ ආහාරය අල්ලසයි. නමුත් රටකට මෙවැනි අයහපත් දෑ සමග ඉදිරියට යා නොහැකිය. ලොව අදවන විට ආර්ථික හා සාමාජීය වශයෙන් බලවත්ව ඇති සෑම රටක්ම පාහේ ඒ තැනට පැමිණ ඇත්තේ අල්ලස හා දූෂණයට තිත තබමිනි. අල්ලස හා දූෂණය මුලිනුපුටා දැමීම යනු අසීරු කාරණයක් වුවත් ඒවා සෑහෙන දුරට අවම කර ගැනීමට උත්සාහ දැරිය යුතුය. ඒ සඳහා අවශ්‍ය වන්නේ චින්තන විප්ලවයක් පමණි.
අද වනවිට මේ රටේ ජීවන විලාසිතාව බවට පත්ව ඇත්තේ ඉමක් කොනක් නැතිව ධනය ගොඩගසා ගැනීමය. ධනය ගොඩගසා ගැනීමට ඇති ආශාව තුළ සාරධර්ම, සමාජ සාරාර්ථ උවමනාවෙන්ම අමතක කර දමන ගතියක් පෙනෙන්නට ඇත. අනෙක් අතට මෙම තත්වය ඇතිවීම විෂයෙහි හෙට ගැන ඇති බය සෑහෙන දුරට හේතුවක් වී තිබේ. තමන්ගේ දූ දරුවන්ට, පරම්පරාවට අසීමාන්තික ලෙස ධනය ඒකරාශී කර තැබීමට කෙනෙකු උත්සාහ දරනුයේ හෙට ගැන ඇති බිය පිළිබඳ අවිනිශ්චිතතාව නිසාය. නමුත් තමන්ගේ දරුවාට, මුනුපුරාට ලෙහෙසියෙන් රැකියාවක් සලසාගත හැකි හා පහසුවෙන් ජීවත්විය හැකි වටපිටාවක් නිර්මාණය වී ඇති බව දැනුණු විටෙක එම බිය තුරන් වේ. එවිට මිනිසුන් ධනය උපයනුයේ පරම්පරා නිර්මාණය කිරීමට නොවේ, ජීවත් වීමට පමණි. දියුණු රටවල එබඳු තත්වයක් දැකගත හැකිය. සමාජයක් ලෙස අපද උත්සාහ කළ යුත්තේ මෙබඳු සිදුවීම් වළක්වා ගනිමින් ඒ උසස් තත්වයට ගමන් කිරීමටය.

මාතෘකා