සිහින දේශයේ සංචාරය

සිහින දේශයේ සංචාරය

හොන්ෂු, කියුෂු, ෂිකෝකෝ සහ හොකයිඩෝ යන ප්‍රධාන දූපත් 4 ක් ඇතුළුව දූපත් 6,800 කින් සමන්විත ජපානය යනු 'අළු ධූලි බවට පත් වූ පසුත් නැවත නැඟී සිටිය හැකි බවට වන ෆීනික්ස් කුරුල්ලාගේ මිත්‍යාව යථාවක් කළ නූතන සාක්ෂියය. පරමාණු බෝම්බ දෙකකින් පරම්පරා ගණනකට මිහිපිට අපායක් හැදූ ජපානය,  අැමෙරිකාව ප්‍රමුඛ මිත්‍ර පාර්ශ්ව රටවල් හැරී බලන පමාවට යළිත් නැඟී සිටියේය.

ලෝකයේ එදා මෙදාතුර, මානව ප්‍රජාවක් මතට පරමාණු බෝම්බයක් හෙළනු ලැබූ එක ම අවස්ථාව හිරෝෂිමා නාග සාකි ප්‍රහාරයය. එයින් භෂ්මාවශේෂ වූ ජපානය නැවත නැඟී සිටියේ විශ්මයජනක ලෙසටය. නූතන ජපානය ලෝකයේ සියලු රටවල් සමඟ මිත්‍රශීලී ගනුදෙනුවක යෙදේ.බටහිර ලෝකයෙන් පිටස්තර ව බටහිර ලෝකයේ දියුණු රටවලට සමාන ආර්ථික සංවර්ධනයක් අත් කරගත් ප්‍රථම රට  ජපානය ය.ජනාධිපතිවරයා සංචාරය කරනුයේ එවැනි බලගතු රාජ්‍යකටය.

පළමු ලෝක සංග්‍රාම යුගයේදී ජපානයේ අපනයනය වර්ධනය වූයේ ලුහු කර්මාන්ත ආශ්‍රිතවය. එහෙත් දෙවන ලෝක යුද්ධයට පෙර වර්ෂවලදී ජපානය ක්‍රමයෙන් බැර කර්මාන්ත සඳහා යොමු විය. මේ නිසා ජපානයට සිය නිෂ්පාදන ප්‍රතිපත්තිය අන්තර්ජාතික වෙළෙඳපොළේ පවත්නා තත්වයට අනුකූල වන අයුරින් හැඩගැස්වීමට සිදුවිය. ඒ අනුව 1960 මැද භාගය වන විට මෝටර් රථ, කෘත්‍රිම රෙදි සහ නව විද්‍යුත් නිෂ්පාදන ආදිය ජපානයේ ආයතනවල මූලිකත්වය බවට පත් විය. තව ද දේශපාලන ආර්ථික ශාස්ත්‍රීය වශයෙන් ජපානය සංවර්ධනය විස්තර කිරීම, ඉතා යහපත් චක්‍ර දෙකක් වන නිපදවීමේ චක්‍රය හා නිර්යාථ කිරීම් චක්‍රය අතර අන්තර් ක්‍රියාවලියක් වශයෙන් හදුන්වාදීමට කැමතිය. මේ චක්‍ර දෙකෙන් ආර්ථික අභිවෘද්ධිය ඇති කර ගැනීමට හැකි විය.

වෙළඳපොළ කේන්ද්‍රීය ආර්ථිකයක් සතු ජපානය ක්‍රය ශක්ති සාකල්‍ය අතින් ලොව සිව් වැනි තැනට පත් රට ලෙස සැලකේ. ජගත් මූල්‍ය අරමුදලෙහි  දත්ත අනුව ජපන් ඒක පුද්ගල ආදායම ඇමරිකන් ඩොලර් 38550ක අගයක් ගනී. රථ වාහන නිෂ්පාදනයේ කීර්තිමත් ඒකාධිකාරයක් ජපානය සතුය. විද්‍යුත් උපකරණ මෙවලම් නිෂ්පාදනයේ ප්‍රමුඛස්ථානය ජපානය සතු ය. දළ දේශීය නිෂ්පාදනයේ වටිනාකම ඩොලර් ට්‍රිලියන 4.884ක් වෙයි.

මේ සියල්ලම  ජපානයේ ආර්ථිකයේ තරම පෙන්වන්නට ප්‍රමාණවත් ය.

ජපානයට 100% සාක්ෂරතාව පවතින අතර  මේ දක්වා නොබෙල් ත්‍යාගලාභීන් 18 දෙනෙක් බිහි කිරීමට ජපානය සමත් ව ඇත. බිංදුවට වැටී ලෝකයේ අන්ත අසරණව තිබූ ජපානය අද වන විට ලොව ප්‍රධානම ධනවත් රටවල් අතර ඉහළින්ම වැජඹේ. ලෝකයේ දෙවැනි මිල අධික නගරය බිහි කරන්නේත් ජපානයය. ඒ තෝකියෝවයි. පුරාණ යුගයේ ජපානයේ සමුරායි  රණශූරයන් විය. නින්ජාගේ කලාව යනු ජපානයට ලෝකයට දායාද කරන ලද්දකි. සිනමා,කලා, සාහිත්‍ය ක්ෂේත්‍රවලින් ද ජපානය අද්විතීයය. මේ සියල්ල ජපානය හිමි කරගන්නේ අප්‍රමාණ කැපවීම, ජාත්‍යාලය, එක රටක් ලෙස නැඟී සිටීම යන කාරණා මුල් කොටගෙනය.

එහි තීරණාත්මක මැදිහත් වීම සිදු වුයේ, ඇමරිකාවේ සැන්ෆැන්සිස්කෝ නගරයේ පැවැති ජාත්‍යන්තර සමුළුවේදීය.

දෙවැනි ලෝක යුද්ධයෙන් පසුව මිත්‍ර පාර්ශ්ව රටවල් සාමූහිකව ජපානය හුදකලා කරන්නට යන විට ඊට එරෙහිව, ඓතිහාසික ප්‍රකාශයක් කළේ ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ජේ ආර් ජයවර්ධන යන්ය. ”නහී වේරේන වේරානි...” යනුවෙන් සඳහන් කරමින් හෙතෙම ජපානයට සමාව දෙන මෙන් ජාත්‍යන්තරයෙන් ඉල්ලා සිටියේය.  

ඒ සමඟම ශ්‍රී ලංකාව හා ජපානය අතර හටගත්තේ ඓතිහාසික මිතු දමකි. මූලික වශයෙන් බෞද්ධ රාජ්‍ය දෙකක් නිසා මේ මිතුදම තවත් වර්ධනය වුණි. නිදහස ලබන විට සාක්ෂරතාවය හා ආර්ථික ශක්තිය අතින් ශ්‍රී ලංකාව දෙවැනි වූයේ ජපානයට පමණි. එවක ආසියාවේ අති ප්‍රබල රටවල් දෙකක් සේ වැජඹුණේ ශ්‍රී ලංකාව සහ ජපානයය.

හුදකලා වීමට වඩා විවෘත වීමෙන් ලොව දිනන මඟ ජපානය ඔප්පුකොට තිබේ. ස්වාභාවික ව්‍යසන අඩුවක් නැති, ගිනි කඳු පමණක් 200ක් පිහිටි, ජපානය ඒ සියල්ල ජයග්‍රහණයේ සාධක බවට පත්කොටගෙන තිබෙන අයුරු පුදුමාකාරය.

මාතෘකා