මත්පැන් බොනවාට එරෙහිව වීදුරුව බිඳීම

මත්පැන් බොනවාට එරෙහිව වීදුරුව බිඳීම

බුද්ධියට වඩා හැඟීම්වලට මුල්තැන දීමේ අවසන් ප්‍රතිඵලය වන්නේ ආවේග පිට කිරීමට මාර්ග සෙවීමය. තාරුණ්‍යයයේ ජවය 'කුලප්පුවක් තරමට' වැඩෙන්නට හැරිය විට සිදුවන්නේත් ව්‍යසනයක්මය. ඉකුත් දිනවල රටේ තැන තැනට ඉසින ලද කහට පැල්ලම් කලකට අමතක කළ නොහැකි අශීලාචාර සිතුවමක් බවට පත් විය.තැන තැන කෝලාහාල මතුවන විට ඊට අත්වාරුව දෙන අන්දමේ කටයුතු රැසක් සමාජ ජාල අතරෙහි සිදුවෙමින් තිබිණි. සමාජජාල යනු 'දැලි පිහියෙන් කිරි' කන්නාක් වැනි පරිස්සමින් භාවිත කළ යුතු මෙවලමකි. එය අයාලේ යන තැනට පත් වූ විට සිදුවන්නේ දැඩි ව්‍යසනයකි. ගින්න, හූව වැනි මිනිස් වර්ගයා ප්‍රාථමික අවධියේ දි සිදු කළ සන්නිවේදන ක්‍රම වල සිට ෆේස්බුක් සමාජ වෙබ් අඩවි නිර්මාණය දක්වා වූ ගමන සැලකූ විට එය සන්නිවේදන තාක්ෂණයේ ඉහළ මට්ටමේ ජයග්‍රහණයක් ලෙසින් හැඳින් විය හැකිය.මෙරට සමාජ ජාල වඩාත් විධිමත් ව සහ ක්‍රමවත්ව භාවිත කරන විශාල පිරිසක් සිටින බව නොරහසකි. තීරණාත්මක අවස්ථාවලදී ඔවුන්ගේ මැදිහත්වීම අතිශය ප්‍රශස්ත මට්ටමක තිබූ බව අවිවාදිතය. ආපදා අවස්ථාවලදී එවැනි සමාජ ජාල, ලෝකයටම ආදර්ශයක් වන මට්ටමේ මැදිහත් වීමක් සිදු කළහ.
මේ වන විට සමාජ ජාල වෙබ් අඩවි මුළු ලෝකයාගේම අවධානය දිනාගෙන සිටින අතර, නව තාක්ෂණික මඟ  සමඟ නව අදහස් එකට ගළපමින් අන්තර්ජාලය තුළ තම ආධිපත්‍ය තහවුරු කරගැනීමටද එ් වෙබ් අඩවි සමත් වී ඇත. කෙසේ වෙතත් ඉකුත් දිනවල ඇතැමුන් සමාජ මාධ්‍ය යොදාගෙන තිබුණේ 'වඳුරන්ට දැලි පිහි' හසු වූ ගානටය. මානව නිදහස සහ මානව සංහිඳියාව සුණු විසුණු කොට ව්‍යාජ ජාතිවාදයක් නිර්මාණය කිරීමට ඇතැමුන් මේ සමාජ මාධ්‍ය උපයෝගී කොටගෙන තිබිණි. සමාජ පිළිල නිර්මාණය කරන යම් යම් ෆේස්බුක් ගිණුම්වලින් සිදු වූයේ සමාජ ප්‍රගමනය වෙනුවට සමාජ අගතිය කරා යන බිහිසුණු සිදුවීම්ය. පැවැති තීරණාත්මක අවස්ථාවේ ආණ්ඩුව ක්ෂණික තීරණයක් ලෙස සලකා සමාජජාල අවහිර කරනු ලැබීය. එය ඒ මොහොතේ නොකළා නම් ආණ්ඩුව වැරදිය. නමුත් මේ වනවිට ගැටුම් සංසිඳි තිබේ. හුරුපුරුදු දිවි පෙවත වෙත ජනයා යොමු වෙමින් සිටිති. අනෙක් අතට සමහර මැදිහත් වීම් අවස්ථානුකූලව කළ මෙහෙය බොහෝය. ගැටුම්වලට සමාජ ජාලද හේතු වූ බව උපකල්පනය කරන අතරේ ඇතැම් ව්‍යාජ හෙළිදරව් කිරීමටද සමාජ ජාල බලවත් මෙහෙයක් ඉටු කළ බව සිහි තබා ගත යුතුය. අම්පාරේ සිදුවීම පිටුපස තිබූ යම් යම් කරුණු සමාජ කතාබහට ලක් කළේ සමාජ මාධ්‍ය භාවිත කරන පුද්ගලයන් විසින්ය. එහි තිබූ මිත්‍යාව හෙළි කළේද සමජ ජාලමය. ඒ නිසා සමාජ ජාල යනු 'බිල්ලෙක්' නොවේ. අදහස් ප්‍රකාශ කිරීමේ ජන සමාජය තුළ පවතින නෛසර්ගික අයිතිය සුරක්ෂිත කිරීම ආණ්ඩුව සතු වගකීමකි. 2010 වසරේ අරාබි වසන්තය නැමැති මේ මහජන නැගිටීම ආරම්භ  ටියුනීසියාවෙනි. එහිදී රාජ්‍ය නිලධාරීන්ගේ දූෂණ ක්‍රියා වලට විරුද්ධ ව නැඟී සිටි මහජනයාගේ උද්ඝෝෂණවල ප්‍රතිඵලයක් වශයෙන් එරට ජනාධිපතිවරයාට ධුරයෙන්ද ඉවත් වීමට සිදු විය. ටියුනීසියාවේ මේ මහජන නැඟිටීම සඳහා බලපෑ ආසන්නතම සිදුවීම වශයෙන් වාර්තා වූයේ පලතුරු වෙළෙන්දෙක් විසින් තමාට පොලීසියෙන් සාධාරණය ඉටු නොවූ බව ප්‍රකාශ කර ගනිමින් ගිනිතබා ගැනීමෙය. මෙය සමාජ ජාලවල ලැව් ගින්නක් වී අනතුරුව ඊජිප්තුව, ලිබියාව හා යේමනයට තුළද මෙසේ මහජන නැගිටීම් සිදුවූ අතර එසේ එය අරාබි කලාපය ම කැළඹූ සමාජ සංසිද්ධියක් බවට පත් විය.
මේ මොහොතේ ආණ්ඩුව ක්‍රියාත්මක විය යුත්තේ ව්‍යාජ ෆේස්බුක් ගිණුම්, සහ ප්‍රචණ්ඩත්වයට උඩගෙඩි දෙන ගිණුම් අත් හිටුවීමට මිසක සමස්ත සමාජ ජාල අක්‍රීය කිරීමකට යෑම නොවේ.
හිරිමල් තාරුණයේ සිටින අතිමහත් පිරිසක් ෆේස්බුක් ඇතුළු සමාජ ජාල භාවිත කරයි. අරාබි වසන්තය වැනි ක්‍රියාදාමවලට ගාමක බලය සපයනු ලැබුවේ ෆේස්බුක්ය. ඒ අතරේ බොහෝ අවස්ථාවල සමාජ අගතියටද ෆේස්බුක් යොදාගත් අවස්ථා බොහෝ හමු වේ. ඉකුත් දිනවල මෙරට සිදුවූයේද එවැන්නකි. හමුදාපතිවරයා ප්‍රමුඛ ආරක්ෂක අංශ සඳහන් කළේ පැවැති ගැටුම් මැඩලන්නට සමාජ ජාල තහනම බලවත් පිටුබලයක් වූ බව ය.කුඩා දරුවන් ලිංගිකව අළෙවි කරන ෆේස් බුක් ගිණුම් ඇති පදම් තිබේ. මුදල් ගරන ෆේස්බුක් ගිණුම් සියගණන් තිබේ. ජාතිවාදය වපුරන ෆේස්බුක් ගිණුම් අඩු තරමේ සියයක්වත් තිබේ. ඒවා පිළිබඳව නොවලහා මැදිහත් වීම ආණ්ඩුවේ වගකීමකි. එහෙත් ප්‍රශස්ත සමාජ කාර්යයක් සිදු කරන ෆේස්බුක් ගිණුම්වලට වැට නොබැඳීමද ආණ්ඩුවේ වගකීමකි. සමාජ මාධ්‍ය අවකාශය යහපත් අන්දමින් භාවිත කළ අවස්ථා අපමණ නමුත් සමාජ මාධ්‍ය අවකාශය අවභාවිත කරමින් සමාජ විරෝධීව හැසිරෙන තත්ත්වවල දෛනික වැඩිවීමක් මිස අවම වීමක් සිදු නොවන බවද පැවසිය යුතුය. ඒ නිසා ආණ්ඩුව මැදිහත් විය යුත්තේ 'මත්පැන් බොනවාට එරෙහිව
වීදුරුව බිඳීම' වෙනුවට විකල්පයක්ය.

මාතෘකා