වහා බැඳ දැමිය යුතු උමතු ගව රෝගීන්

වහා බැඳ දැමිය යුතු උමතු ගව රෝගීන්

පන්සියපනස් ජාතක පොත නූතනයේ ලියැවේ නම් අපූරු කතා දහස් ගාණක් පහසුවෙන්ම සොයා ගත හැකිය. ඒ අතර 'ප්‍රේත කතා වස්තු' ඕනෑ තරම් ලියැවෙනු ඇත. ඒවාට 'උම්බෑ ජාතකය' වැනි නමක් ද තැබිය හැකිය. එහෙම කතාවලට දෙස් දෙන වස්තු බීජ මේ කොදෙව්වෙන් කොතෙකුත් සපයා ගත හැකිය.   

මිනිසෙකුට උග්‍ර ලෙස 'උමතුව' වැළඳුණු විට සිදු වන වින්නැහියේ තරම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයකුත් ඔහුගේ බිරියත් ඉකුත් සිකුරාදා රටට ම පෙනෙන්නට සැලැස්සුවේ ය. තමන්ට එවැනි දරුණු වර්ගයේ උමතු රෝගයක් තිබෙන බව ප්‍රසිද්ධියේ ම ලොවට පෙන්වීම ගැන එක් අතකින් ඒ දෙදෙනාට ස්තූති කළ යුතුය.   

බටහිර චිත්‍රපටිවල ඇතැම් බිහිසුණු ජවනිකා සැබෑ ලෝකයේ දකින්නට ලැබෙන්නේ කලාතුරකිනි. චිකාගෝ ක්‍රමයට මිනීමැරීමත්, ඒ ක්‍රමයට ම ප්‍රහාර එල්ල කිරීමත් සාමාන්‍ය සමාජයේ සිදුවේ නම් එකී සමාජය 'පුනරුත්තාපනය'කළ යුතු එකකි. පළාත් සභා මන්ත්‍රීවරයා ස්වකීය බිරියත් සමඟ මහ මඟ නැටූ නාඩගම ඔවුන් නොවල හා 'පුනරුත්තාපනය' කළ යුතු දෙදෙනකු බව ප්‍රසිද්ධියේ ම කියා පෑමකි.   

අදාළ මන්ත්‍රීවරයාගේ පියා ද පළාත් සභාවේ අමාත්‍යධූර දැරූ 'චණ්ඩියෙකි'. ඔහුට ද ඒ රෝගය වැළැඳී තිබුණු බැවින්, අන්වර්ථනාමයක් ද පටබැඳ තිබූ අතර ඉකුත්දා සිදුවීමත් සමඟ, ඔහුගේ පුතා ද 'නොට්ටිගේ පුතකු නොවන බව' ඔප්පු කළේ ය.   

දේශපාලනය යනු විද්‍යාවකි ය, කියා අර්ථකථන ඉදිරිපත් කළ ද, එය හරිහැටි අවබෝධ කොටගෙන එන අය දුලබ ය. සුලබ ව සිටින්නේ පවුල් බලය, ධන බලය, මැර බලය වැනි සාධක උපයෝගී කොටගෙන දේශපාලනයට පිවිසෙන්නන් ය. ඒවායේ ප්‍රතිඵල ලෙස අඩු තරමේ

සති පතාවත් මෙවැනි 'කටගැස්මවල්' හමු වෙයි.   

එදා ආසියාවේ ආශ්චර්යය විඳින්නට එන්න කියා ලොවට ආරාධනා කරන ගමන්, සංචාරකයකුට ස්වකීය පෙම්වතිය සමඟ මෙරටට නිදහසේ සංචාරය කරන්නට එවක ඉඩක් තිබ්බේ නැත. සමහර ඇමැති පුත්තු ගුවන් යානයේ සිට පොළොවට පනින්නට ගියේ 'අහස' උන්ගේ කියා හිතලා ය. බලයෙන් මත් වූ විට එක්කෝ උන් පිස්සන් බවට පත් වේ, නැත්නම් ලෝකය ම උන්ට ඕනෑ හැටියට පරිවර්තනය විය යුතු යැයි හිතනවා විය යුතුය.දෙකෝටියක් ඉක්මවන මහ ජනතාව තමන්

වෙනුවෙන් 427 දෙනෙක් පළාත් සභාවට පත්කොට යවයි. ඒ යවන්නේ තමන් වෙනුවෙන් පළාත් සභාවේ නියෝජනයක් ලබා දීම පිණිස ය.   
මහ පාරේ පිස්සු නැටූ මන්ත්‍රීවරයා ද ජනතාව එක් ව පත්කර යැවූ 427න් එකෙකි. කෝටි දෙකකින් 427 අතරට තේරී පත් වීමේ 'වරම' ඔහු ස්වකීය බිරියත් සමඟ අපූරුවට රඟපෑවේ ය.   

බස් රථ රියදුරා සහමුලින් නිවැරදි යැයි කියන්නට අපි ඉක්මන් නොවෙමු. නමුත් කුමන වරදක් ඇතත්, මහජන නියෝජිතයකුට මෙලෙස හැසිරෙන්නට අයිතියක් නැත. එහෙව් හැසිරීමකට දිය යුතු දඬුවම වන්නේ සාමාන්‍ය සමාජයෙන් වෙන් කොට තැබීම ය. ඊට ක්‍රම දෙකක් තිබේ; එකක් බන්ධනාගාරය ය; අනෙක පිස්සන් කොටුව ය.   

එක් අතකින් මේ ඔප්පු කරන්නේ බලය නැමති සාධකය 'අයාලේ' යවන ආකාරය ය. අනෙක් අතට 'ඕනෑ ම තක්කඩියකුට' දේශපාලනයට ඒමටත්, පැමිණ ජයගෙන පිස්සු නැටීමටත් තිබෙන අවකාශය ය. සමහරුන් දේශපාලනයට රිංගන්නට එන්නේ ඊට අදාළ නැති, ක්‍රීඩා, චිත්‍රපට, වැනි වෙනත් ක්ෂේත්‍රයක දැක්වූ හපන්කම්වල මුවාවෙනි. තවත් සමහරු 'මෙගා නාට්‍ය' රඟපා අමතර ජවයක් ලබන අතර එ පින් බලෙන් 'මන්ත්‍රීකම්' ලබති.   

නුසුදුසුකම එක ම සුදුසුකම බවට පත් ව තිබෙන ක්ෂේත්‍ර කිහිපය අතර ඉදිරියෙන් ම තිබෙන දේශපාලනය 'බලයෙන් මත් ව, සාහසික ලෙස හැසිරීමේ' පාදඩ තිප්පොළක් බවට සමහරු පත්කොටගෙන සිටිති.   

දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයා අයත් වන්නේ ඒ වර්ගයට ය. දකුණු ඉන්දීය චිත්‍රපටයක කාඩ්බෝඩ් චණ්ඩි රැජනක් ලෙස ගිනි අවිය ලෙලවමින් මන්ත්‍රී බිරින්දෑ නැටූ නාඩගම පෙන්නුම් කරන්නේ 'බලය ලබා ගත්තොත්' නටන නාඩගමේ ප්‍රාථමික පෙරහුරුව ය.   

දේශපාලනය යනු 'බලය පෙන්වන' තිප්පොළක් බවට පත්කොට ගෙන සමාජ බලවතුන් සේ පෙනී සිටින මෙවැනි උමතු ගවරෝගීන් වහා ම බැඳ දැමිය යුතුය; නැත්නම් කඩිනම් ප්‍රතිකාර කළ යුතුය.    

මාතෘකා