කටකතා

කටකතා

මෙරට ඉතිහාස පොත පෙරළා බලන විට වර්ණවත් පරිච්ඡේද සේම 'කළුපාට'පරිච්ඡේදද සොයා ගත හැකිය.මේ ගෙවී ගිය සතියද එවැනි කළුපාට පරිච්ඡේද ලියැවි ලේ වැකි ඉතිහාසයක් සටහන් කරන්නක් බවට පත් විණි. මතවාදී අරගල සන්නද්ධ අරගල බවට පත් වීමේ බරපතළ ඛේදවාචකයේ අඳුරු දවස් අනාගත පරම්පරාවට ඉතිහාස පොත පෙරලද්දී මේ දින කිහිපයෙන් සොයා ගත හැකිය.  

තවදුරටත් සමාජයේ බොහෝ දෙනා අඩු තරමේ පුනරුත්ථාපනය ට හෝ පත් විය යුතු මට්ටමක සිටින බවට දෙස් දෙන 'ජාතිවාදි'සිදුවීම් ගොන්නක් ඉකුත් දිනවල සිදු විය.  

ඒ සිදුවීම් අතරේ අසන්නට හා දකින්නට ලැබුණු තවත් අවාසනාවන්ත සිදුවීමක් වූයේ 'කට කතා' ය.  

අනේකවිධ කටකතාවලින් සමාජ දේහය සසල කරන්නට සමහරු සමත් වූහ. ඇස් පනාපිට දුටු දෙයක් සේ අමූලික මිත්‍යාවක් වපුරවා එහි අස්වැන්න දැක කාලකන්නි තෘප්තියක් ලබන පිරිස්වල අඩුවක් ඉකුත් දිනවල දකින්නට ලැබුණේ නැත.සමාජ ජාල ඔස්සේත්, කට කතා ඔස්සේත් සමාජගත කළ භීතිය රටට ගෙන දුන්නේ ඉතිහාසගත කළු පැල්ලමක් ය.  

මෙය අපේ රටට අලුත් තත්වයක්ද නොවේ. 83 කළු ජූලියේ කළු පැල්ලම ඇති කිරීමට කටකතා දැක්වූ දායකත්වය අති විශාලය. දේශීයව පැතිර ගිය කට කතා රැල්ලෙන් ජාතිවාදීන්ට ලේ පිපාසය සිඳවා ගැනීමට අවස්ථාවක් මෙන්ම ජාතිවාදීන්ගේ ලේබලය අලවා ගත් පල් හොරුන්ට දමිළ ජනතාවගේ ධනය කොල්ලකෑමේ මහඟු අවස්ථාවක් උදා විය.  

ආසන්නතම හේතුව වූයේ එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සන්නද්ධ පිරිසක් ශ්‍රී ලංකා යුද හමුදාවේ සෙබළුන් පිරිසක් වෙඩි තබා ඝාතනය කිරීම බව සත්‍යයකි. නමුත් දෙමළ සන්නද්ධ සංවිධාන වල ප්‍රහාරයට ලක් වූ ප්‍රථම අවස්ථාව මෙය නොවීය. විශේෂත්වය වූයේ එම අවාසනාවන්ත සිදුවීම මාධ්‍ය මඟින් මෙන්ම කටකතා මඟින් විකෘතියක් බවට පත් කර දකුණේ ජන සමාජයට කා වැද්දීමයි. එයින් ජාතියක් ලෙස අපට අහිමි වූ ජීවිත ගණන, දේපළ හානිය සහ ජාත්‍යන්තරව සිදු වූ අපකීර්තිය ගැන අපි යළි මතක් නොකරමු.  

කටකතා සම්බන්ධයෙන් වර්තමාන අත්දැකීම තවත් කළු ජූලියක් පිළිබඳ බියකරු හැඟීමක් අපට ජනිත කරයි. අසූව දශකයේදී පැවති සන්නිවේදන තාක්ෂණයට වඩා අද පවතින තාක්ෂණය සෑම අතින්ම ප්‍රබලය. පැතිරීම පුළුල්ය. එක් පුද්ගලයෙකු නිර්මාණය කරන පුවතක් දස දහස් ගණනකට ළඟා වීමට වැය වන්නේ නොගිණිය හැකි තරම් කාලයකි. නොසැලකිය හැකි තරම් සුළු මුදලකි. එය වෙසෙසින්ම එදා කටකතාවට වඩා දහස් ගුණයක් වේගවත්ය. කටකතාවලට පැවති ශ්‍රව්‍යමය හැකියාවට වඩා අද තාක්ෂණයේ ශ්‍රව්‍ය දෘශ්‍ය සහ සජීවීය. එවැබින් පුද්ගල චින්තන රටාවට කළ හැකි බලපෑම අති විශාලය.  

සත්‍ය නොවන පුවතක් පිළිබඳ විශ්වාසය ගොඩනැගීම සඳහා සහ වෙබ් අඩවි, ෆේස්බුක් පිටු සඳහා වැඩි අවධානයක් ලබා ගැනීමේ අරමුණින් පුවත් නිර්මාණය කරන පිරිසක් සිටී.

ඒ අවශ්‍යතාව දේශපාලනික වීමේ සම්භාවිතාවක්ද පවතී. එමෙන්ම නිසි සොයා බැලීමකින් තොරව කරුණු වාර්තා කරන පුවත් වෙබ් අඩවිද සමස්ත සමාජයට කරන බලපෑම නොසැලකිය හැකි නොවේ.  

මෙවැනි භාවිතයන්ට කළ හැකි දැඩි බලපෑම කොතෙක්දැයි පැහැදිලි කරන උදාහරණයක් ඇමෙරිකානු ජනාධිපතිවරණ සමයේදී වාර්තා විය. සිය රිපබ්ලිකන් ඡන්දදායකයන් යනු "යමක් නිවැරදිව වටහාගත නොහැකි පිරිසක්" ලෙස එවකට ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා ඇතැයි බොහෝ දෙනෙක් වාර්තා කොට තිබිණි. නමුත් ඔහු කිසි දිනක එවැන්නක් පවසා නොමැත. ජනාධිපතිවරණයේ ට්‍රම්ප් ගේ ප්‍රතිවාදියා වූ හිලරි ක්ලින්ටන් සම්බන්ධයෙන් ද එවැනි ව්‍යාජ පුවත් පළ කොට තිබිණි.  

මෙම පුවත් ඇමෙරිකානු ජනාධිපතිවරණයට කළ බලපෑම අති විශාලය.  

පසුගිය සති කිහිපය තුළ ෆේස්බුක්, වට්ස් ඇප්, ට්විටර්, වයිබර් ආදී තාක්ෂණික යෙදවුම් භාවිතයෙන් ජාතීන් අතර පවතින සංහිඳියාවට හානි කරන නොයෙකුත් ව්‍යාජ පුවත් සැරිසරනු නිරීක්ෂණය විය. ඇතැම් පුවත් සංවේදී පුද්ගලයෙකුට දැරිය නොහැකි තරම් සාහසික ඒවාය.   

මිනිසුන් එක් සමූහයක් ලෙස බැඳ තැබීම උදෙසා නිර්මාණ වූ තාක්ෂණයක් මිනිසුන් බෙදා වෙන් කිරීම සඳහා භාවිත කිරීම අවාසනාවකි. එවන් අවස්ථාවකදී ක්ෂණික සහ තාවකාලික පියවරක් ලෙස ජාතික අවශ්‍යතාවක් සේ සලකා එවන් නූතන කටකතාවලට වැට බැඳීමකට රජයට සිදු වීම නොවැලැක්විය හැකිය.  

වරක් ෆේස්බුක් සමාජ ජාලයේ අපූරු උධෘතයක් සැරිසැරීය. එයින් කියවුණේ 'ෆේස්බුක් එකේ පළ වන සියල්ල විශ්වාස කරන්න එපා - ශ්‍රී වික්‍රම රාජසිංහ රජතුමා' යනුවෙනි. මූණුපොතේ පළ වෙන කාරණාහි විශ්වාසය ගැන හොඳම තක්සේරුව එයියි.

මාතෘකා