වැට සහ නියර ගොයම් කන රටක..

වැට සහ නියර ගොයම් කන රටක..

බෞද්ධ භික්ෂූන් වහන්සේලා යනු බුද්ධ ශාසනය රැකීමත්, බුදුන් දෙසූ දහම් මාර්ගය ජීවිත ආදර්ශයෙන් පෙන්වීමත් වෙනුවෙන් කැප වූ පිරිසකි. ගිහි ජනතාවට දානය, පරිත්‍යාගය, අවිහිංසාව, සහජීවනය චිරාත් කාලයක් මුළුල්ලේ හුරු කරවනු ලැබුයේ භික්ෂූන් විසිනි. එමගින් ගොඩනැඟුණු හැදියාව තුළ ශ්‍රී ලාංකිකයෝ සහජීවනයට ළැදි පිරිසක් ලෙස ලොව පරසිදුව සිටියෝය. එහිදී අතරින් පතර වෙනස් කතන්දර නොඇසුණාද නොවේ. නමුත් සම්පූර්ණ චිත්‍රය දුර්වර්ණ කිරීමට ඒවා ප්‍රබල වූයේ නැත.


කෙසේ වුවද ලාංකීය ඉතිහාසයට එක් වන ආසන්නතම කළු පැල්ලම බවට කුප්‍රකට මහනුවර නොසන්සුන්තාව පත් වී තිබේ. මෙම සිදුවීමත් සමඟ අලුත් නළුවන් කිහිප දෙනෙකුද දැන් කරළියට පැමිණ තිබේ. ඉන් බොහෝ දෙනෙකුගේ අවධානය දිනාගත් රංගනයක නිරත වන්නට වැහැරුණු සිරුරකින් යුතු තරුණ බෞද්ධ භික්ෂුවක් කටයුතු කළ අාකාරය අන්තර්ජාලයේ දැක ගැනීමට ලැබිණි. මේ භික්ෂුව ගැටුම් සඳහා ආයාචනා කරන්නේ මිනිසුන්ගේ හදවතටය. අප දන්නා බුදු දහම අවිහිංසාවාදී ධර්මයකි. එවන් බුදු දහමක් දේශනා කළ බුදුන්ගේ අනුගාමිකයෙක් කඩු කිණිසි මුවහත් කර ඉස්ලාම් භක්තිකයන් කපන්නට, කොටන්නට එන්නැයි ආරාධනා කරයි. එතැනින් නොනැවතී ගරුතර සංඝරත්නයටත්, පොලිසියේ නිලධාරීන්ටත් පරිභව කරන්නටද අමතක නොකරයි. මේ චීවරධාරියාගේ නම සඳහන් කිරීමටවත් අප සූදානම් නැත. මෙවන් පුද්ගලයන්ට අනවශ්‍ය ප්‍රචාරයක් ලබා දීමට අපට අැවැසි නොවේ. නමුත් මෙවැනි හැසිරීම් බුදු දහමට, බුද්ධ ශාසනයට සහ පොදුවේ සමාජයට කරන නිශේධනාත්මක බලපෑම ගැන නම් අප විමසිය යුතුය. මේ චීවරධාරියාගේ රංගනය අපට සිහි ගන්වන්නේ 'බජාර් එකේ චන්ඩියාගේ' භූමිකාවය. සාමාන්‍ය භික්ෂූන් වහන්සේ කෙනෙකුගේ චර්යා රටා අතිශය සංවර හා සංවර්ධිත බවකින් යුක්ත බව අපි දනිමු. ඒ අනුව භික්ෂූන් වහන්සේලා අප මෙන් කෑම කන්නේ නැත. ඔවුන් කරන්නේ කෑම වැලඳීමය. ඔවුන් අප මෙන් ගමන්බිමන් යන්නේ නැත. කරනුයේ වැඩීමය. ඔවුන් අප ‍මෙන් නිදියන්නේ්ද නැත. කරන්නේ සැතපීමය. මෙලෙසින් ඔවුන්ගේ සියලු කටයුතු මනා සංවරභාවයකින් හා සිහියෙන් යුතුව සිදු විය යුතු බව බුදු රජාණන් වහන්සේ මහා සතිපට්ඨාන සූත්‍රයේදී පෙන්වා දී ඇත.  


ඉදින් තරුණ භික්ෂු සාමනේර චීවරධාරීන් නොසරුප් ‍ලෙසින් හැසිරෙද්දීඑම හැසිරීම පාලනය කිරීමේ දැඩි වගකීමක් මහා නායක හිමිවරුන්ට ඇත. සිල්ලර ගැටලුවලදී මැදිහත් වීමට වඩා මෙවැනි සැබෑ බැරෑරුම් ප්‍රශ්නවලදී උන් වහන්සේලා අසුනෙන් බිමට බැසීමේ අවශ්‍යතාව අන් කවරදාටත් වඩා අද මතුව ඇත. ආවේගශීලී තරුණ භික්ෂූන් වහන්සේලාගේ ගැටුම්කාරී ප්‍රකාශවලින් සිවිල් ජනතාව වර්ගවාදී ගැටුම්වලට පෙළඹීමේ ඉඩ ඇහිරීමේ ශක්‍යතාව තවමත් මහ නායක හිමියන්ගේ වදන් සතුව ඇති බව බහුතර ශ්‍රී ලාංකිකයෝ විශ්වාස කරති. අනෙක් අතට ඉස්ලාම් සමාජයේ මවුලවිවරුන්ද මේ අවස්ථාවේදී පෙරට පැමිණිය යුතුය. ඊශ්‍රායලයේ අගනුවර ජෙරුසලම බව ඇමෙරිකාව පිළිගත් විට පෙළපාලි යන, සිරියාවට එල්ල වන ඇමෙරිකා ප්‍රහාර ගැන විස්සෝප වන ඉස්ලාම් නායකයින් මෙවන් අවස්ථාවලදී දක්වන නිද්‍රාශීලී පිළිවෙත ගැන දැඩි විවේචන ඇත. ජනවාර්ගික ප්‍රශ්න ඔඩුදුවා මුළු රටම, පිළිස්සුණු මළසිරුරුවල සුසාන භූමියක් වුවාට පසු මාධ්‍ය ප්‍රකාශ නිකුත් කළාට හෝ ජාත්‍යන්තරයට අඳෝනා කිව්වාට පළක් නැත.  


සමස්තයක් ලෙස නිදහසින් පසු ශ්‍රී ලංකාවේ දියුණුව අඩාළ කරමින් එය අවලක්ෂණ කළ ප්‍රධානතම කාරණය වූයේ අන්‍ය මත නොඉවසන අන්තවාදී කණ්ඩායම්හි ක්‍රියාකාරීත්වයය. සිංහල, දෙමළ, මුස්ලිම් භේදයකින් තොරව සෑම සමාජයක් තුළම එම අන්තවාදය පසුගිය සමයේ දැකගත හැකි විය. මෙම අන්තවාදයට මුහුණු දීම වෙනුවට බොහෝ විට ප්‍රධාන ධාරාවේ දේශපාලනඥයන් හුරුව සිටියේ එය අභිමුව පිටකොඳු බිඳගත් නිවටයන් සේ හැසිරීමටය. බොහෝ විට ඔවුන් අනුගමනය කළේ නිද්‍රාශීලී ප්‍රතිපත්තියකි. තෙල්දෙණිය සමහර අපකීර්තිමත් සිදුවීම් සිදු වූයේ පොලිසිය බලා සිටියදීමය. එලෙස ප්‍රචණ්ඩත්වය මුදා හරිමින් නිදැල්ලේ හැසිරෙන්නන්ට එරෙහිව නීතිය වෙනම හැන්දකින් ක්‍රියාත්මක වීම පැහැදිලිවම ගැටලුවකි. එය රටේ කීර්තිනාමයටද බලවත් හානියකි. 

මාතෘකා