එකට එකක්: කුමක් කරමු ද? | ඇස පාදන රැස


එකට එකක්: කුමක් කරමු ද?

එකට එකක්: කුමක් කරමු ද?

එක් අයකුට එක් අයෙක්; ඇසට ඇසක්; දතට දතක්; තවත් තරුණයකු මියගොස් ඇත. ඇත්තටම නම් ඝාතනය කර ඇත. ඉතිහාසය ආපිට කැරකැවෙමින් තිබේ. මේ රටට සිදු වෙන්නේ කුමක් ද?  

ඉවක් බවක් නැතිව කා කොටා ගැනීම මිනිස් ඉතිහාසය පුරාම පැවතුණි. ශිෂ්ටාචාරය ලියැවුණේ මිනිස් ගැටුම්වලිනි. සමාජය සංවර්ධනය වූවා යැයි කියන්නේ මේ ගැටුම් කළමනාකරණය කර ගැනීමට මිනිසා දැක්වූ දක්ෂතාවයි. මිනිසුන් අශ්ලීලබවෙන් මිදීමට සාපේක්ෂව ගැටුම් අවම විය. ගැටුම් ඇතිවුණ ද ඒවා ශිෂ්ට ලෙස කළමනාකරණය කරගත්හ.   

දැන් අපි ජීවත් වෙන්නේ 21 වෙනි සියවසේය. මනුෂ්‍ය සමාජයට ශිෂ්ට වෙන්නට කල් හොඳට ම ප්‍රමාණවත්ය. එහෙත් අපි තවමත් ගැටුම් කළමනාකරණයේ දී අශ්ලීල ක්‍රම යොදා ගන්නෙමු. ඇහැට ඇහැක් දතට දතක් සෙවීම මහත් වූ නොමිනිස්කමක ප්‍රතිඵලයකි.  

පෙරේදා වැඩිමහලු තරුණයකු ඝාතනය වෙද්දී ඊයේ ළාබල තරුණයකු ඝාතනය කර තිබේ. මේ අන්දමක් මිනිස් බිළි ගැනීම ඉතිහාසය පුරා සිදු විය. එය අනාගතයටත් රැගෙන යන්නට තැත් කිරීම මිලේඡකමක් ලෙස නොපෙන්නේ අන්තවාදීන්ට පමණි.  

මිනිස් බිලි ගෙන ප්‍රශ්න විසඳන්නට හැකි නම් මිනිස් ශිෂ්ටාචාරය ලියැවෙන්නේ මීට වඩා දියුණු අන්දමින්ය. එහෙත් ඉතිහාසය පුරා ඇත්තේ ලැජ්ජාසහගත කා කොටා ගැනීම් පමණි. ඒ කියන්නේ මිනිස් බිලි ගැනීම ගැටුම්වලට තිරසාර විසඳුම් ගෙන එන්නේ නැති බවය. ගැටුමකින් ගැටුමක් දුරදිග යනවා මිස සංසිඳවෙන්නේ නැත. රුධිරය හළා ගැනීම කඳුළු ගංගාවකට හේතු වේ.  

අන්තවාදීන් විසින් ගිනි තැබූ කඩයක ඇතුළේ තිබී ළාබාල තරුණයකුගේ සිරුරක් හමුවීම ශෝචනීයය. බොහෝ අය කියන්නේ තෙල්දෙණියට බාහිරින් පැමිණි පිරිස් මේ අමනකම් කරනා බවකි. අමනයන් එන්නේ බාහිරින් නම් තෙල්දෙණියේ මානවයන් කළ යුත්තේ අත් පා හකුළාගෙන හිදීම නොවේ. දැන ගන්නට ලැබෙන පරිදි තෙල්දෙණිය පමණක් නොව තදාසන්න ප්‍රදේශයන්ද අමනයන්ගේ පාලනයට නතුව තිබේ. මේ තත්ත්වය සිංහලයන්ට ලැජ්ජාවට හේතුවකි.  

සිංහලයෝ ප්‍රෞඩ ජාතිකත්වයක සමාජ කොටසකි. ඒ ජාතිකත්වය තුළ විවිධ තරාතිරම් වල මිනිස්සු ජීවත් වූහ. ඒ නිසා වරෙක ශිෂ්ටාචාරය ඉදිරියටද වරෙක පසුපසටද ගමන් ගත්තේය. ඉතිහාසයේ අශීලාචාරම සිදුවීම්ද සිදු විය. එහෙත් සිංහලයන් සතුටු විය යුත්තේ අශීලාචාරකම නිසා නොවේ. ශීලාචාරකම මත සිංහලයා ඉදි කළ මිනිස් බැඳීම් සතුටට හේතුවක් කරගත යුතුය. එහෙත් තෙල්දෙණියේ සිදුවෙමින් පවතින්නේ සිංහලයා අතිශයෙන් ලැජ්ජා විය යුතු සිදුවීම්ය.  

අපේ මුතුන් මිත්තෝ දූපතක සිටියහ. අපිද දූපතක සිට හිස් අහසේ ගුවන් යාත්‍රා දෙස බලා සිටියෙමු. එහෙත් අපේ දරුවෝ ජීවත් වන්නේ අන්තර්ජාල යුගයේය. ඔවුහු සිරියාවේ මිනීමැරුම් හෙළා දකිති. ඊශ්‍රාලයේ ගැටුම් පිළිකුලෙන් බැහැර කරති. එහෙත් තමන්ගේ මව් රටේද ත්‍රාසජනක පිළිකුල් සහගත ක්‍රියා සිදුවීම ඔවුන්ව තල්ලු කරනු ඇත්තේ හද්දා වන්නිකරයේ නොමිනිස්කම් තුළටය.  

අපේ දරුවන් ලෝකයා කරා ගමන් කළ යුතුය. ලෝකයා සමඟ ගනුදෙනු කළ යුතුය. ලෝකයා සමඟ හරි හරියට වැඩකළ යුතුය. එහෙත් මිලේඡයන් සමඟ ගනුදෙනු කරන්නට විදේශිකයන් කැමැති වන්නේ නැත. ඒ විදේශිකයෝ අපව කොන් කරනු නොඅනුමානය. එවිට අපේ දරුවන්ට සිදුවන්නේ නැවතත් කොළ අතු ඇද වනගත වන්නටය. ඊට වැඩ කටයුතු සිදු කර දෙන්නේ අද වැඩිහිටියන්ය.  

සිදුවූයේ කුමක්ද සිදුවන්නේ කුමක්ද කළ යුත්තේ කුමක්දැයි තෝරා බේරා ගන්නට තරම් අප ළදරුවන් නොවේ. අනාගතය කෙසේ විය යුතු දැයි අදම තීරණය කළ යුතුය. නොඑසේනම් අපේ දරුවන්ට රටක් ලෝකයක් ඉතුරු නොවනු ඇත. 

මාතෘකා