මහත්තයෝ ලැජ්ජ නැද්ද?

මහත්තයෝ ලැජ්ජ නැද්ද?

තඹුත්තේගම දී අධිකරණ නියෝග කඩ කරමින් උද්ඝෝෂණය කළැයි රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ ගොවීන් පනස් එක්දෙනා ඊයේ ඇප මත නිදහස් කිරීම සතුටට කරුණකි. රාජාංගණය වැව අපහරණය කරමින් ජල ව්‍යාපෘතියක් ඉදි කරන්නේ යැයි චෝදනා කරමින් මේ ගොවීහු උද්ඝෝෂණය කළහ. එහෙත් ඉන් අනතුරුව අනුරාධපුර දිස්ත්‍රික් ලේකම්වරයා නිවේදනය කළේ තාවකාලිකව ව්‍යාපෘතිය ඉදි කිරීම අත්හිටුවූ බවයි. සාකච්ඡාවෙන් සම්මුතියෙන් තොරව සංවර්ධන කටයුතු කිරීම ගැටුම්කාරී බැවින් එයද සතුටට කරුණකි.

රාජාංගණය වැව ආශ්‍රිතව ජල ව්‍යාපෘතියක් ඉදි කර තඹුත්තේගම, තලාව හා අවට ප්‍රදේශවලට පානීය ජලය සැපයීම 2011 දී අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද්දකි. ඒ අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයට අදාළ වගකීම පැවරුණ අතර මහජන චීනය විසින් ඊට රුපියල් මිලියන 17,000ක මුදලක් ඊට ආධාර ලෙස ලබාදීමට නියමිත විය. ඒ අනුව අමාත්‍ය මණ්ඩලයට අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව ඉදිරිපත් කර තිබුණේ එවකට ජල සම්පාදන හා ජලා ප්‍රවාහන විෂය භාර අමාත්‍යවරයා වූ දිනේෂ් ගුණවර්ධනයි.

පොලිස් පහරදීමට අදාළ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් පළ කළ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ඊට දැඩි සේ දුක් වෙමින් කිඹුල් කදුළු හෙළා තිබුණි.  තමන් ද දැනුවත් තමන්ගේ ආණ්ඩුව විසින් අනුමත කළ ජල ව්‍යාපෘතියකට එරෙහිව ගොවීන් උද්ඝෝෂණය කරන විට මහින්ද රාජපක්ෂ විසින් කිඹුල් කදුළු හෙළීම හාස්‍යජනක බව අමුතුවෙන් කිව යුතු නොවේ. එහෙත් මේ දිනවල හිටපු ජනාධිපතිවරයා අම්ම මෝ නොමැතිව දුක් විදින්නේ මහ ජනතාව විදින දුක සම්බන්ධයෙනි. තමන් ජනාධිපතිකම කරන කාලයේදී අමතකව තිබූ ජනතා දුක දැන්වත් මතක්වීම සතුටට කරුණකි.

ඔහුගේ කිඹුල් කදුළු දකින විට අපට මතක් වන්නේ එකල මහජන උද්ඝෝෂණ මැඩ පැවැත්වූ අන්දමයි. 2010 ජනාධිපතිවරණය අවසන් වූ වහා තම ප්‍රතිවාදියා වූ සරත් ෆොන්සේකා අත් අඩංගුවට ගෙන බලු කූඩුවට දැම්මේ මහින්ද රාජපක්ෂය. ඊට විරෝධය පාමින් දස අත මහජනයා නැඟී සිටින විට මිලිටරි බලය යොදා ඔහු ඒවා මර්දනය කළේය. මහරගම දී එලෙස මතු වූ උද්ඝෝෂණයකදී ගරුතර ස්වාමීන් වහන්සේ නමකට පවා පොලීසිය විසින් එලව එලවා පහර දුනි. මත්තේගොඩදී සරත් ෆොන්සේකාව අත් අඩංගුවට ගැනීමට එරෙහිව පෙත්සමක් අත්සන් කරමින් සිටි මහජනයා විසුරුවා හැර පෙත්සම්කරු කුදලාගෙන පොලීසියට රැගෙන ගියහ.

එහෙව් මහින්ද රාජපක්ෂ අද ඇතිවෙන සිද්ධීන්වලදී නහයෙන් අඬමින් කම්පාවීම මුළු සමාජයට ම විනෝදයක් ගෙන දෙන්නකි.  තමන් හරි පාරේ නොගොස් අනෙකා හරි පාරේ යවන්නට දත කෑම ලාංකික සමාජයේ ලක්ෂණයකි. ඒ අර්ථයෙන් හිටපු ජනාධිපතිවරයා ද මේ ගමන් කරමින් සිටින්නේ ඒ ලාංකික සාම්ප්‍රදායික ගමන් මගෙහිමය.

කොහොමත් මහින්ද රාජපක්ෂ අනුන්ගේ පානෙන් එළිය බලන්නට හරිම කැමැතිය. ඔහු බලයට පත්වූයේද බලය පවත්වාගෙන ගියේද අනුන්ගේ පහනෙන් එළිය බැලීමෙනි. ඒ අනුව තඹුත්තේගම උද්ඝෝෂණයෙන් තමන්ට වාසියක් ගන්නට තැතනීම  මහින්ද රාජපක්ෂට අනුව අරුමයක් නොවේ.  ඒ එළිය බැලීමට මේ රටේ ජන සමාජය ද යම් ප්‍රමාණයකින් සිටින්නේ එක පයෙනි.

රතුපස්වලදී ජලය ඉල්ලා උද්ඝෝෂණය කළ මහජනතාවට මිලිටරි ප්‍රහාරයක් එල්ල කරමින් එ් උද්ඝෝෂණය ලෙයින් හා කදුළුන් මර්දනය කළ අන්දම තවමත් රටට අමතකව ගොස් නැත. තමන්ගේ හිසට ඉහළින් කපුටකුටවත් පියාඹන්නට නොහැකි යැයි සිතා සිටි උද්දච්ඡ නායකවරු එදා කළේ සියලු මහජන ප්‍රතිචාර මර්දනය කිරීමකි.

ඒ ඉතිහාසය සමාජයට හොඳට මතක බව මේ මොහොතේ ලියා තබමි.

මාතෘකා