එතෙර සහාය නැතිව බැහැ | ඇස පාදන රැස


එතෙර සහාය නැතිව බැහැ

එතෙර සහාය නැතිව බැහැ


අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ගිය සතියේ සිංගප්පූරුවේ නිල සංචාරයක යෙදුණි. එහිදී ශ්‍රී ලංකා ආයෝජන සමුළුව අමතමින් ඉල්ලා සිටියේ ආයෝජනය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස යි. ආයෝජකයන් ඇතුළු වෙළෙඳ සමාගම් වල නියෝජිතයන් 300කට අධික පිරිසක් සහභාගී වූ එ් සමුළුව අමතමින් අගමැතිවරයා කීවේ " ශක්තිමත්, ස්ථාවර හා නම්‍යශීලී ආර්ථිකයක් ඇති කරමින් ව්‍යාපාර කිරීමට සුදුසු ස්ථානයක් ලෙස ශ්‍රී ලංකාව දියුණු කරන" බව ය.
ශ්‍රී ලංකා ආර්ථිකයේ පවතින ගෙවුම් ශේෂ හිඟය දිගු කාලීන ලක්ෂණයකි. ගෙවුම් ශේෂ හිඟය නැති කර ගනිමින් ආර්ථිකය ශක්තිමත් කර ගැනීම සඳහා විදේශ විනිමය ආනයනය කරන ක්‍රමයක් සකස් කර ගත යුතුය. ඒ සඳහා දේශීය අපනයනයන් සීඝ්‍ර වර්ධනයකට ලක් කිරීමත්, විදේශ සම්ප්‍රේෂණ වැඩි කර ගැනීමත් ආයෝජන ප්‍රවර්ධනය කර ගැනීමත් අත්‍යවශ්‍ය වේ. අපනයන සීඝ්‍ර වර්ධනයකට ලක් කිරීම සඳහා පෙරළා විදේශ විනිමය අවශ්‍ය වේ. එනිසා ශ්‍රී ලංකාව ප්‍රථමයෙන් කළ යුත්තේ ඩොලර් ආනයනය කර ගැනීමයි.


ඒ සඳහා විදේශගත ව රැකියා කරන ශ්‍රී ලාංකික පිරිස වැඩි කරගත යුතුය. එසේම විදේශ ආයෝජකයන් මෙරටට ගෙන්වා ගත යුතුය. ශ්‍රී ලංකාව ලබන මුළු අපනයන ආදායමෙන් 66.56% ක ප්‍රමාණයක මුදලක් විදේශගත ප්‍රේෂණයන්ගෙන් ලබා ගනී. එ් මුදල රුපියල් බිලියන 512 කි. ඒ අනුව විදේශගත ප්‍රේෂණ වලට දායක වන විදෙස් ගත ශ්‍රමික පිරිස සැලකිය යුතු සංඛ්‍යාවකි.


ශ්‍රී ලංකා ආර්ථිකය ශක්තිමත් කර ස්ථායි කිරීමට නම් අග්‍රාමාත්‍යවරයා තෝරාගෙන ඇති පරිදි ම විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතුය. මෙරට ආයෝජකයන්ට සුදුසු ලෙස පරිසරය සකස් කර ඒ ආයෝජන හරහා ඩොලර් ලංකාවට ගෙන්වා ගැනීමෙන් ගෙවුම් ශේෂ හිඟය මගහැරවා ගැනීමට මහන්සි විය යුතුය. එහෙත් එය සරල හා පහසු කටයුත්තක් නොවේ.
විදේශ ආයෝජකයන් ශ්‍රී ලංකාවට එන්නේ ඔවුන්ගේ ආයෝජන සඳහා සුදුසු පරිසරයක් පවතින්නේ නම් පමණි. සම්ප්‍රදායික අර්ථයෙන් "සුදුසු පරිසරයක්" යන්නෙන් ඔවුන් අදහස් කරන්නේ ස්ථාවර දේශපාලන තත්ත්වයක්, සුදුසු යටිතල පහසුකම් හා ලාබ ශ්‍රමයයි. මේ සාධක තුන ම දැන් පවතින තත්ත්වයෙන් වෙනස් වෙමින් තිබේ.


විදේශගත ශ්‍රමිකයන්ට වඩා පහසු ඉඩ ප්‍රස්තාවක් ලැබීමත් සමඟ මෙරට ශ්‍රමයට මිලක් නියම වෙමින් තිබේ. ලාබ ශ්‍රමය තවදුරත් ශ්‍රී ලංකාවේ දකින්නට අපහසු අතර එනිසා කම්කරු හිඟයක් ද පවතී. විශේෂයෙන් ඇඟළුම් ක්ෂේත්‍රයේ කලින් සිටි පැවැති ශ්‍රම දායකයන්ගේ අතිරික්තය දැන් දකින්නට නොමැත. එනිසා ඇගළුම් ක්ෂේත්‍රයට විශාල ශ්‍රම හිඟයක් පවතී.
ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය යන්නෙන් අර්ථ දක්වන්නේ ම යටිතල පහසුකම් වැඩි දියුණු කිරීමය. යම් තාක් දුරට දියුණු වූ යටිතල පහසුකම් තත්ත්වයක් දක්නට ලැබේ. එහෙත් අධික වාහන තදබදයකින් යුත් මහාමාර්ග පද්ධතිය ආර්ථිකයට කරන්නේ බරපතල හානියකි.


මෑත කාලයේ ධ්‍රැවීකරණය වූ දේශපාලන සංකූලතා නිසා ඇති වූ නොසන්සුන්තාව ආයෝජකයන්ට අහිතකරය. ඔවුන් නිරත්තරයෙන් බලාපොරොත්තු වන්නේ ස්ථාවර හා කාර්මික ගැටුම් අවම දේශපාලන තත්ත්වයකි. එනිසා රටක් වශයෙන් අප මහන්සි විය යුත්තේ ස්ථාවර හා ගැටුම් අවම වූ දේශපාලන පරිසරයක් නිර්මාණය කර ගැනීමටය.


වරක් එක් ආයෝජකයකු ප්‍රකාශ කළේ මහා මාර්ගවල පවතින ගැටලු, වරාය මෙහෙයුම් වල පවතින ගැටලු හා බල ශක්තිය ලබාදීමේ ගැටලු මිස, ආයෝජන සඳහා අනෙක් කරුණු බාධා ලෙස නොසලකන බවයි. ඒ අනුව ශ්‍රම පාරිභෝජනයේ ඇතිවන ප්‍රශ්න ඒ ආයෝජකයාට ඇත්ත ප්‍රශ්නයක් නොවීය. එවැනි ආයෝජකයන් ශ්‍රී ලංකාවට සම්පතකි. 

මාතෘකා