පුතේ, අපට සමාවෙන්න!

පුතේ, අපට සමාවෙන්න!

හලාවත දී කුඩා දරුවකු ලිංගික අපහරණයට ලක් කර මරා දැමූ පුවත පිළිකුල් සහගතය. කුඩා පිරිමි දරුවකුගෙන් බලහත්කාර ලිංගික තෘප්තියක් ලබන්නට තරම් සැකකරු නරුමයකු වී තිබේ. ඊටත් පසුව දරුවා මරා දමා තිබේ. මාධ්‍ය වාර්තා කළ පරිදි මරණ පරීක්ෂණයේ දී හෙළි වී ඇත්තේ දරුවාගේ ලිංගේන්ද්‍රිය හා පාද සැකකරු විසින් හපා තුවාල කර ඇති බවකි.  

මෙවැන්නක් වාර්තා වූ සැණෙන් සමාජයේ බහුතරය කියන්නේ එල්ලුම් ගහ අවශ්‍ය බවකි. එහෙත් එල්ලුම් ගහ පවතින රටවල පවා මෙවැනි තිරශ්චීන අපරාධ ක්‍රියා වාර්තා වේ. ඒ අනුව පැහැදිලි වන්නේ මිනිසුන්ගේ සංස්කෘතිමය නොදියුණු බව මත මෙවැනි අපරාධ සිදුවන බවය.  

ලාංකේය සමාජයේ ජන විඥානයට කා වැදී ඇත්තේ අමුතු සදාචාරයකි. ඒ තුළ මිනිසාගේ කායික හා මානසික අවශ්‍යතා බරපතළ ලෙස සීමා කිරීමකට ලක් කර ඇත. ඒ සීමා කිරීම තුළ මිනිස් සන්තානයෙන් කුළු ගැන්වී ඇති කායික හා මානසික අවශ්‍යතා පාලනය කරගත නොහැකි මට්ටමට පත්වේ.  

අයෙක් කියන්නේ එවැනි හැඟීම් සදාචාරය, ආගම දහම හා සංස්කෘතිය තුළ පාලනය කරගත යුතු බවකි. එහෙත් මුළු ජීවිතය පුරාම එම හැඟීම් පාලනය කරගෙන ඉන්නවා මිස ඒවාට නිදහසේ ගලා යෑමට ඉඩ නොදීම බරපතළ ප්‍රශ්නයකි.  
මිනිස් සන්තානය තුළ ඇතිවන සියලු හැඟීම් තිරිසන් සතුන්ගේ පරිදි නිදහසේ තෘප්ත කර ගන්නට ඉඩ දිය යුතු නැත. ඒවා සමාජයක ආචාරධර්ම හා විනය අනුව කළමනාකරණය කර ගත යුතුය. එසේ නොමැතිව බොරු සදාචාරයක් ද බොරු සංස්කෘතියක් ද ගෙන හැර පාමින් ඒ හැඟිම් ඉවසා සිටින්නට බල කිරීම භයානක ය. එහි ප්‍රතිඵලය වී ඇත්තේ මිනිසුන් නොමිනිසුන් වී අශ්ලීල ක්‍රියා මඟින් හැඟීම් පිට කර ගන්නට තල්ලු කර දැමීමයි.  

මිනිස් සන්තානයෙන් පැන නඟින ආශාවන් තෘප්ත කර ගන්නා තරමට ඒ ආශාවේ අන්තය ඉක්මනින් ළඟා කර ගත හැකිය. එසේ නොවී ඒ ආශා සීමා කරගෙන හා හිරකරගෙන සිටීමෙන් ඒ හැඟීම් පිට කර ගැනීමට ඇතිවන අවශ්‍යතාව කුළු ගැන්වේ. අපේ සමාජයේ සිදුවන්නේ එවැන්නකි. බොරු සදාචාරයෙන් ද බොරු සංස්කෘතියෙන් ද හිරකරගෙන හා සීමා කරගෙන සිටින මිනිස් ආශා, තැන නොතැන නැතිව පිට කර ගැනීමට එක් මොහොතක මිනිසුන් පෙළඹේ. ඒවාට ජීවිතයෙන් වන්දි ගෙවන්නට සිදුවන්නේ මල් කැකුළුවන් අහිංසක දරුවන්ටය.  

මේ නොදරුවාට ටොෆී කන්නට දී කැළෑ ප්‍රදේශයකට රැගෙන යන අන්දම එක් කාන්තාවක් දැක තිබේ. දන්නා හදුනන දරුවකු නොදන්නා අයකු හා කැළෑවකට යන විට ඒ සම්බන්ධයෙන් උනන්දු නොවීම ඇගේ වැඩිහිටිකමට නිගාවකි. එසේම වැඩිහිටියකු වශයෙන් ඈට පැවරී තිබූ වගකීම නොසලකා හැරීමකි. ඈ මේ සම්බන්ධයෙන් උනන්දු වූවා නම් මේ අපරාධය සිදු නොවන්නට ද ඉඩ තිබුණි.  

වරද ඇත්තේ පෞද්ගලිකව ඒ කාන්තාව තුළ නොවේ. ඈ වැනි පුරවැසියන්ගෙන් සමන්විත සමාජයම ඊට වගකිව යුතුය. දරුවන් ජාතික වස්තුවකි. ඔවුන් අයිති දෙමව්පියන්ට පමණක් නොවේ. ඇත් පරම්පරාවේ එක් ඇතින්නකට පැටවකු බිහි වූ විට සියලු ඇතින්නියන්ට කිරි එරෙන්නේය. මිනිසුන් වන අපට අලි ඇතුන්ට තරම්වත් දයාවක් නොමැති වීම ගැන ලැජ්ජා විය යුතුය.  

ජාතික වස්තූන් ආරක්ෂා කර ගැනීම ජාතියේම වගකීමකි. එහෙත් ඒ වගකීමෙන් ජාතිය කර ඇර තිබේ. මෙවැනි අපරාධ අවම කර ගත නොහැක්කේ එබැවිනි. 

මාතෘකා