කොත්තු, ෆාස්ට් ෆූඩ් හා අම්පාරෙ අයියලා

කොත්තු, ෆාස්ට් ෆූඩ් හා අම්පාරෙ අයියලා

ආර්ථිකයේ ආංශික වෙනසක් වීමත් සමග රැකියා බිහි වූයේ කොළඹ හා අගනාගරිකයේය. ගම් දනව්වල ජනයා කොළඹට හා අගනාගරිකයට ආවේ රැකියාවක් සොයාගෙනය. කොළඹ හා අගනාගරිකයේ ජනගහනය වැඩි විය. ඊට සමාන්තරව අතරමැදි පන්තියක්ද බිහි විය. සමාජය, සංස්කෘතිය වෙනස් විය. මිනිස් හැසිරීම් වෙනස් විය. මිනිසුන්ගේ ආහාර සංස්කෘතියද වෙනස් විය.
රාත්‍රී ආහාරයට ගෙදර යමක් පිස ගන්නේ නැතිව "ඩිනර් අවුට්" යන්නට මැද පන්තියට සිදු විය. "ඩිනර් අවුට්" නොගියොත් එය තමන්ගේ තත්ත්වයට මදි පුංචිකමක් විය. බෝ නොවන රෝගයන්ට ගොදුරු වීමේ ප්‍රතිශතය එන්න එන්නම වැඩි වෙන්නේ යැයි සෞඛ්‍යය අංශ අනතුරු හැඟවූයේ ඔය අතර ය. දහඩිය හෙළා මහන්සි නොවන මැද පන්තිය කෝලා බී කොත්තු කා මදි නම් රයිස් ද කෑමෙන් ලුණු, සීනි මෙන්ම රසකාරක රසායනිකයන් ද ශරීරයට මදි නොකියන්නට ලැබුණි.
‘මේ මොනවා කීවත් මිනිස් හැසිරීම් වෙනස් වී ඇති නිසා මිනිසුන් ආහාර පුරුදු භයානක ලෙස වෙනස් කරගෙන තිබේ. ඒ නිසාම ලෙහෙසියට හා පහසුවට ආහාරයට ගන්නේම කොත්තු, රයිස් හෝ කෝලා වැනි ආහාරයන් ය. මේ ඊයේ පෙරේදා අම්පාරේ දී කඩ දෙක තුනක් ගිනි තබා ගනිමින් කලබලයක් ඇති කර ගත්තේ ද කොත්තු කන්නට ගොස් ය.
සමාජයක් අන්‍යොනය අවබෝධය හා ගෞරවය නොමැතිව සැකයෙන් හා බියෙන් ජීවත්වෙන විට  දහසකුත් එකක් ගැටලු ඇති වේ. අපේ සමාජයේ ජාතිකත්වයන් අතර ද බරපතළ  සැකයක් හා බියක් නිර්මාණය වී තිබේ. සිංහල, දෙමළ හා මුස්ලිම් ජාතිකත්වයන් තුනෙහිම අන්තවාදීහු එකිනෙකා ගැන සැකයෙන් බිය ඇති කරගෙන සිටිති. මේ සැකය හා බිය නිසා මෝහය ඇති වේ. එවිට සැබෑ සතුරා කව්දැයි නොතේරේ.
කොත්තු, රයිස් වැනි ආහාරයන් ද කෝලා වැනි පානයන් ද මිනිස් සමාජයේ සැබෑ සතුරා ය. එම ආහාරපානයන් තුළ මිනිස් ශරීරයට නුසුදුසු රසායනික දෑ අඩංගු ය. එනිසා බෝ නොවන රෝග වැළදීමට ලොකු ඉඩකඩක් පවතී. එහෙත් ඒ සම්බන්ධයෙන් උනන්දු නොවී දිගටම එවැනි ආහාරපාන අනුභව කරන සිංහල ජනයා මුස්ලිම්වරුන් සම්බන්ධයෙන් බියෙන් සැකයෙන් යුතුව ජීවත් වෙති. ඔවුන් සිතන්නේ මුස්ලිම්වරුන් සිංහලයා වඳ කිරීම සදහා කුමන්ත්‍රණකාරීව කටයුතු කරන බවකි. එහෙත් එවැන්නක් වෛද්‍ය විද්‍යාත්මකව තහවුරු කර නොමැත.
සිංහලයන් වඳ කිරීමේ සැබෑ අවශ්‍යතාවක් කාට හෝ ඇත්නම් වඳ පෙති හෝ වඳභාවය ඇති කරන වෙනත් යමක් හෝ ආහාරයට එකතු කරන්නට අවශ්‍ය නොවේ. ඔවුන් කළ යුත්තේ අඩු මිල ගණන්වලට හෝ නොමිලයේ හෝ රසකාරක අඩංගු ආහාර සිංහලයන්ට ලබා දීමයි.
එහෙත් ජාතිවාදයෙන් ද ආගම්වාදයෙන් ද මෝහයට පත්වූ අන්තවාදීන්ට සත්‍යය තේරුම් ගත නොහැකිය. හැම ජාතිකත්වයකම සිටින අන්තවාදී සුළුතරය හැසිරෙන්නේ අනෙකා ආණ්ඩු මට්ටු කිරීමට ය. එහෙත් සිදුවන්නේ රටක් ලෙස අශ්ලීල ලෙස හැසිරීමෙන් ලෝකයා තුළ කොන්වීමයි. ගෝත්‍රිකයන් ලෙස හංවඩු ගැසීමයි. ලාංකික සමාජයට  සිදුවන්නේ ලෝකයා හමුවේ මුළු ගැන්වී සිටීමටයි.
අම්පාරේ පළමු දා රාත්‍රී ඇති වූ සිද්ධිය අහඹු ගැටුමක් නොවේ. අපේ සමාජයේ ජන විඥානය තුළට ඊයම් බරු මෙන් කිඳා බැස ඇති අශ්ලීල ආකල්ප ඊට හේතුවයි. එම ආකල්ප ප්‍රවර්ධනය සදහා සමාජයේ බුද්ධිමත්තුද සිවිල් චරිත ද දේශපාලන පක්ෂ ද ඇප කැප වී සිටිති. එවැනි ගැටුම් කුළුගන්වා තමන්ගේ දේශපාලන අරමුණු ඉටු කර ගැනීම ඔවුන්ගේ සිරිතයි. මෙවැනි දේශපාලන චර්යාවන් වඳ කරන්නේ නැතිව රටක් ලෙස අපට ඉදිරියට ගමන් කළ් නොහැකිය.

මාතෘකා