දේශප්‍රේමයේ පිරුවටය යට නැඟෙන ගඳ

දේශප්‍රේමයේ පිරුවටය යට නැඟෙන ගඳ

දේශප්‍රේමය වෙනුවෙන් රැයක් දවාලක් නැතිව කෑ ගසන පුද්ගලයන්ගේ ඇතුළාන්තය ගඳගසන බවට තහවුරු වන සිදුවීම් දිගින් දිගටම අසන්නට දකින්නට ලැබේ. ඉතිහාසය පුරාම කරුණු සිද්ධ වී ඇත්තේ එයාකාරයටය. රට, ජාතිය හා ආගම ගැන උදේ හවා ජප කරන ඇතැම් ප්‍රභූවරුන්ගේ පැටිකිරිය බැලූ කල හුදී ජනයාට අනේ අපොයි කියැවෙනු ඇත. එහෙත් දේශප්‍රේමයෙන් මත් කරවන ලද ඔවුන් එම යථාර්ථය පිළිගැනීමට මැලි වනු නිසැකය.

දේශප්‍රේමයේ පිරුවටෙන් දූෂණය, වංචාව සහ අපරාධ වසා ගැනීමේ දේශපාලන උපක්‍රමය හිටිඅඩියේ සොයාගත් දෙයක් නොවේ. එහි ඉතිහාසය අවුරුදු දහස් ගණනක් පැරණිය. 18 සහ 19 වැනි සියවස්වලදී මේ පිළිබඳ තියුණු මත දැක්වීම් කළ විශිෂ්ටයන් දෙදෙනකු හැටියට සැමුවෙල් ජොන්සන් සහ ලියෝ ටෝලස්්ටෝයි හැඳින්විය හැකිය.

ඉංග්‍රීසි ජාතික පඬිවරයකු වූ සැමුවෙල් ජොන්සන් කීවේ පාදඩයාගේ අවසන් සරණ දේශප්‍රේමය කියාය. බලය ලබා ගැනීම සහ එය පවත්වා ගෙන යෑම යන කාරණයේදී ඒ අත්දැකීම ඔහුට මව් රටටත් වඩා පිටින් දැනෙන්නට ඇත.

‘යුද්ධය හා සාමය’ ලියූ මහා ලේඛක ලියෝ ටෝල්ස්්ටෝයිගේ කාර්යසාධනය ඔහුගේ සාහිත්‍යයට සීමා නොවී සමස්ත ලේඛනයෙන් හා ජීවිතයෙන්ද පෙනේ. දේශප්‍රේමය දරුවන්ට ඉගැන්වීමෙන් දරුවන්ගේ මනස දූෂණය වන අතරතුර ගුරුවරුන් හා නිලධාරීන් පාලකයන් සතුටු කර තානාන්තරවලින් ඉහළට යන අයුරු තම ගද්‍ය ලේඛන මගින් ඔහු උපහාසයට ලක් කළේය.

මේ දෙදෙනාගේ අදහස් සනාථ කෙරෙන හොඳම උදාහරණ හෙවත් නියම බඩු ඇත්තේ ලංකාවේය. මෑතකදී පැරණි නටබුන් ඩෝසර් කිරීමකට එරෙහිව ගල්ගමුවට ගොස් ජීවිතය පුදන්නෙමැයි සපථ කළ සුදු ඇඳගත් පරාජිත දේශපාලකයා මිනීමැරුම් සහ මත්ද්‍රව්‍ය ජාවාරමට ප්‍රකට අයෙකි. කුඩ්ඩන් ලවා රූපවාහිනී ස්වකයන් කිහිප දෙනකුට දැලිපිහි පාරවල් එල්ල කළේ ඔහුය. ලංකාවේ බුදු දහම කෙළින් කිරීම සඳහා සංවිධාන නඩත්තු කරන සුදු ඇඳගත් ප්‍රභූවරුන් අතර දුප්පතාගේ වැටුප කොල්ලකන රේස්ඔට්ටුකරුවෝද සිටිත්.

උසාවියේ නිල කුටියෙහිදී චූදිතයන්ගේ බිරියන් කෙළෙසීමේ චෝදනාවට අධිකරණ සේවා කොමිසමෙන් ගෙදර යැවූ විනිසුරුවරයා භික්ෂුන්ගේ ආදරයට පාත්‍ර වූ දේශප්‍රෙමී බෞද්ධයෙකි. දේශප්‍රේමයේ නාමයෙන් දේශපාලකයන්ගේ කිළිටි හේදීමේ යෙදී සිටින මහාචාර්ය භික්ෂුවක් චීන සමාගමකින් කප්පම් ලබා ඇති ආකාරය පසුගියදා අනාවරණය විය. ලංකාවේ අධිකරණය මාෆියාවක් බවට පත් කිරීමට දායක වූ සුදු ඇඳගෙන ඉංග්‍රීසියෙන් බණ කියන හිටපු අගවිනිසුරුවරයෙක් අගනා හෙළිදරව්වක් කළේය. එනම් තමන් අගවිනිසුරු ධුරය හෙබවු වේලේ හෙල්පිං හම්බන්තොට අරමුදලෙන් ගසා කෑ රාජ්‍ය නායකයා නීතියේ රැහැනට අසු නොකිරීම ගැන තමා පසු තැවෙන බවය.

පසුගිය ජනාධිපතිවරණයේදී හිටපු ජනපති චීන සමාගමකින් කප්පම් ගෙන ඇති ආකාරය රටට අනාවරණයවී තිබේ. දේශප්‍රේමයේ නාමයෙන් පොළොවේ පස් කෑ නායකයන්ගේ පවුලේ සාමාජිකයන් රටම සුද්ද කර ඇති ආකාරය දැන් අනාවරණය වෙමින් පවතී.

දේශප්‍රේමය පිරුවටක් කරගෙන ජාතික ධනය කොල්ලකෑම සහ විවිධ අපරාධවල යෙදීම ඔවුන්ගේ ස්වභාවයයි. එහෙයින් ඒ අතීත අත්දැකීම් අනාගතයෙහි පිරුවටය අඳින්නන්ගෙන් ප්‍රවේශම් වීම ස‍ඳහා ජනතාවට හොඳ පාඩමකි.

දේශප්‍රේමය ඔජ වැඩවීම ශුද්ධ වූ ජාතියක් පිළිබඳ මිථ්‍යාවට සමාජය තල්ලු කරන කෙටි මාවතකි. රට ගැන, ලෝකය ගැන නියම හැඟීමක් ඇති මිනිසා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදියෙකි. ඔහු අන් මත ඉවසයි. විවිධත්වය පිළිගනී. ගල්කණු වෙනුවට නවීනත්වය බදාගනී. අතීතයෙහි සාරය එහි පවතී. රටට ඇවැසි වන්නේ එබඳු යහපත් මිනිසෙකි. ඔහු මිනිසාට ආදරය කරයි.

මාතෘකා