බෞද්ධ චින්තනයට පටහැනි පරිසර සංහාරය

බෞද්ධ චින්තනයට පටහැනි පරිසර සංහාරය

මේ පොසොන් සමයයි. පෝය දින සහ ඉන් පසු දිනවල මිහින්තලේ, අනුරාධපුර, පොළොන්නරුව ප්‍රධාන කොටගත් සිද්ධස්ථාන සැදැහැවතුන්ගෙන් පිරීතිරී යයි. වන්දනා ගමන්වලින් බෞද්ධ ජනයා ලබනුයේ ඉහළ මානසික සුවයකි. තරුණ තරුණියෝද ළමයිද මේ ගමන්වලින් විනෝදයක් ලබති.

වන්දනා සමය අවසන් වන විට දැකගත හැක්කේ අමිහිරි දසුනකි. පොලිතීන්, ප්ලාස්ටික් බෝතල් සහ බඳුන් සිද්ධස්ථාන අවටද මග දෙපසද කඳු ගැසී තිබේ. මිහින්තලේ සහ අනුරාධපුර ප්‍රදේශවල වන්දනා සමයෙන් පසුව වැව් පිටි පරිහරණය කළ නොහැකි මට්ටමට දූෂණය වී ඇති බවට ගම්මු සාක්ෂි දරති. පිට පළාත්වලින් පැමිණෙන ලක්ෂ ගණනක් වු ජනතාවට අවශ්‍ය යටිතල පහසුකම් නොමැති වීම මේ තත්වයට බලපෑ එක් හේතුවකි. එහෙත් දිරා නොයන අපද්‍රව්‍ය දමා යෑම ශිෂ්ටත්වය පිළිබඳ ගැටලුවකි.

බුදු දහම යනු පරිසර සංවේදී දැක්මක් සහිත සාර දර්ශනයකි. බුදුන් වහන්සේ රුක් මුල වැඩ සිටීමට ඉමහත් කැමැත්තක් දැක්වූහ. වනාරෝප සූත්‍රයට අනුව වන උයන් වැවීම දිවා රාත්‍රී දෙකෙහිම පිං වැඩෙන ක්‍රියාවකි. එසේ නම් බෞද්ධයන්ගේ යුතුකම හා වගකීම වන්නේ තිබෙන වනඋයන්වත් ආරක්ෂා කිරීමය.

ගමන් බිමන්වලදී ගෙන යන නොදිරන බඳුන් සහ පොලිතීන් ආපසු රැගෙන යෑමේ පුරුද්ද ඇත්තේ සුළු පිරිසකටය. ඇතැම්හු හිස් වූ වීදුරු බෝතල් විනෝදයට ගලේ ගසා විසුරුවා දමති. මේවා පයෙහි ඇනීමෙන් දුකට පත්වන්නේද තවත් මිනිසකු බව නොසිතති.

වන්දනා සමයෙන් පසුව කසළ කඳු ඉවත් කිරීම සඳහා රජයට විශාල පිරිවැයක් දැරීමට සිදු වෙයි. මෙයින් හැඟෙන්නේ එක් පිරිසක් කරන වරදකට සමස්ත ජනතාවගේ බදු මුදලින් වන්දි ගෙවීමට සිදුව ඇති බවය. මෙය ඉතා කනගාටුදායක තත්වයකි.

පසට එක්වී ඇති පොලිතින් ප්‍රමාණය අනුව බලන විට එය දශක කිහිපයක් යන තුරු ප්‍රකෘති තත්වයට පැමිණීම වැළකෙනු නිසැකය.

තවද වන්දනාවේ යන වැඩිහිටියන්ගෙන් දරුවන්ට ලැබෙන්නේද නරක ආදර්ශයකි. මෙය වැඩිහිටියන්ගේ චින්තන ක්‍රමයේ ඇති වරදකි. ආගම් භක්තිය තිබූ පමණින් චරිත හැඩගැසීමක් ඇති වේ යැයි නොසිතිය යුතුය.

බුදු සමය සහ ලාංකිකයාගේ ජීවිතය ගැන සුහද හා ගැඹුරු හැඟීමෙන් කරුණු දැක්වු හෙළයේ මහ ගත්කතුවර මාර්ටින් වික්‍රමසිංහ මෙසේ ලිවීය.

"මෙකල දරුවන්ට උගන්වනු ලබන්නේ බුදුන් වහන්සේ උත්තර මනුෂ්‍යයකු ලෙස කරන ලද ආත්ම පරිත්‍යාගය, ආත්ම සංයමය, සතුරන්ටත් පාපීන්ටත් දිළින්දන්ටත් දක්වන ලද මහා කරුණාව, දයාව ආදී අපිස් ගුණ හා සාදු ගුණද දැක්වෙන චරිතාංග නොවේ. බුද්ධ චරිතයෙහි ඒ උත්තමාංග කියවන අප තුළ ඇති වන්නේ දැඩි සිත් වේදනාවකි. කුමක් නිසාද? ඒ චරිතාංගයන්ගෙන් දැක්වෙන අපිස් ගුණ හා සාධු ගුණ මෙකල අප නොසලකන, නුපුරන බැවිනි." (ආගම කවචයක් නොවේ, ‘බුදු සමය හා සමාජ දර්ශනය’)

බුද්ධ චරිතයෙහි උත්තම ගුණාංග පිළිබඳ දරුවන්ට ආදර්ශයක් ලැබීමට නම් වැඩිහිටියන්ට ඒ ගැන හැඟීමක් තිබිය යුතුය. පින්රැස් කිරීම හා පහන් සංවේගය පිණිස වන්දනා ගමන් යන වැඩිහිටියන් පුද බිම් අවට වෙසෙන ජනතාවට හා ඔවුන් ජීවත් වන පරිසරයට විශාල හානියක් කරන්නේ නම් ඒ ආදර්ශය ලබන දරුවන් අනාගතයෙහි පරිසර නාශකයන් වීම වැළැක්විය නොහැකිය. එහෙයින් මේ පොසොන් සමයෙහි වන්දනා ගමන් යන්නෝ සම්‍යක් දෘෂ්ටිය ලබත්වා!

ලොව සාගරයට අපද්‍රව්‍ය හෙළා සයුර දූෂණය කරන රටවල් අතරින්ද අපේ රට පස් වැනි තැනට පත්ව තිබේ. ශ්‍රී ලාංකිකයන් හැටියට අප ඒ ගැන ලැජ්ජා ව්ය යුතුය. සීයට හැත්තෑවක ප්‍රතිශතයක් බෞද්ධයන් ජීවත් වන රටක අන් අයට හිරිහැර වන පරිදි ආගමික චාරිත්‍රවල යෙදීම සම්බන්ධයෙන් අප ඊටත් වඩා ලැජ්ජා විය යුතුය. බෞද්ධයාගේ වටිනාකම ඇත්තේ වපිළිවෙත්වල නොව ආධ්‍යාත්මික වටිනාකම්වලය. මේ ගැන සිතා බලන්නට පොසොන් සමය වැදගත් කාලයකි.

මාතෘකා