මෙන්න කොටි නැගිටිනවෝ!

මෙන්න කොටි නැගිටිනවෝ!

මෙය මේ දිනවල පන්සල් සූදුවෙහි යෙදී සිටින දේශපාලකයන්ගේ උදාන පාඨයයි. සැබෑවටම කොටි බිය තිබූ කාලයේ කොටියා පැරදවීමට අමතරව තවත් බොහෝ කටයුතු කොටි ගිණුමට බැර කරමින් කරගැනීමට පන්සල් සූදුවේ යෙදෙන දේශපාලකයන්ට හැකි විය. ඒ මත තමන්ට හිරිහැරයක් වූ පුද්ගලයන් එලොව යැවීමටද ඔවුහු සමත් වූහ.

මෙය දෙයාකාරයකින් සිදු විය. ඉන් එක් විදියක් නම් තම පාලනයට හිරිහැරයක් වූ පුද්ගලයා එලොව යවා ඔහුට කොටි සම්බන්ධකම් තිබුණේ යැයි ප්‍රසිද්ධ කර ඝාතනය සාධාරණීකරණය කිරීමය. දෙවැනි ක්‍රමය තම පාලනයට හිසරදයක් වූ පුද්ගලයා එලොව යවා එය කොටි විසින් කරන ලදැයි අත සෝදා ගැනීමය. රාජ්‍ය දේපළ මංකොල්ලය, දූෂණය, වංචාව හා මර්දනය වසන් කරගැනීම සඳහා කොටි ප්‍රශ්නය පළිහක් කරගැනීම ඔවුන්ගේ සිරිත විය. කොටියා ඉවර කළා යැයි රට දෙවනත් කරමින් කිරිබත් කෑවෝද ඔවුහුම වෙත්.

යුද ජයග්‍රහණය සිංහල බෞද්ධයන්ගේ ජයග්‍රහණයක් බවට ජනමතය සකස් කරමින් සෙසු ජනවර්ග තවදුරටත් පීඩාවට ලක් කිරීම මේ පාලකයන්ගේ පිළිවෙත විය. යුද්ධයෙන් තුවාල වූ හදවත් සුවපත් කර නැවත යුදමය තත්වයක් ඇති නොවන පරිදි දිගු කාලීන පියවර ගැනීම හා පශ්චාද් යුද සමයෙහි සංක්‍රාන්තික යුක්තිය ඉෂ්ට කිරීම මුළුමනින්ම අතහැර දමන ලදි. දරුස්මාන් වාර්තාව එපා යැයි රට දෙවනත් කළ පාලකයන් විසින් පත් කරන ලද උගත් පාඩම් කොමිසමේ නිර්දේශද කුණු කුඩයට යැවිණ. දරුස්මාන් වාර්තාවට වූ දේම දේශීය වාර්තාවටද සිදු විය. රණවිරු වන්දනාව සහ බොරු දේශප්‍රේමය ඔජ වඩවමින් අන්ත දූෂිත පාලනයක් ගෙන ගිය රෙජීමය රටම සුද්ධ කර ඇති බව පෙනී ගියේ බහුජන කැමැත්තෙන් දූෂිත පාලනය ගෙදර යැවූ පසුය.

දිවිනැගුම නම් අඩයාළම දමා දුප්පතාගේ මුදලත් කොල්ලකා ඇති බව අනතුරුව අනාවරණය විය. අධිකරණය, ගරා වැටෙන රදළ පවුලක අපුල්ලන්නා බවට පත් කර ගැනීමේ උත්සාහය අගවිනිසුරුවරිය ගෙදර යැවීම සහ ගෙදරට අඬගහගෙන ගොස් වට්ටි අම්මලාට අධිකරණ පත්වීම් දීම ඔස්සේ අනාවරණය විය. එය අධිකරණයේ ස්වාධීනත්වයට එල්ල කළ මරු පහරක් විය.

වත්මනෙහි දූෂිතයන්ට දඬුවම් දීමේ ප්‍රතිඥාව මන්දගාමීව හෝ ක්‍රියාවට නැගෙමින් පවතින අතරතුර කොටි නැගිටීමේ භීතියෙන් රට අන්දමන්ද කර සැබෑ ප්‍රශ්නය යටපත් කිරීම රෙජීමයට ගැති මාධ්‍ය ඔස්සේ ආරම්භ කර තිබේ. මීට පෙරද කොටි නැගිටීම පිළිබඳ භීතිය ඇති කළ අවස්ථාවේ හමුදාව එහි සදොස් බව පෙන්වා දුන්නේය.

වත්මනෙහි මෙරට ක්‍රියාත්මක වන හමුදාව යනු එතෙරින් ගොඩබාන ලද්දක් නොව බිහිසුණු යුද්ධයකට මුහුණදී බොහෝ කැපවීම් කළ හමුදාවකි. බලයේ සිටින දේශපාලකයන්ට හා පරාජිත දේශපාලකයන්ට වඩා හොඳින්ම කොටි පරාජය ගැන දන්නේ ඔවුන්ය. එවැනි නැගිටීමක් ඇත්නම් අන් කාටත් වඩා ඒ පිළිබඳ ක්‍රියාත්මක වන්නේ ඔවුන්ය.

මිට පෙර එවැනි කොටි භීතියක් ඇති කළ අවස්ථාවේ හමුදාපතිවරයා එහි සත්‍යාසත්‍යතාව අනාවරණය කළේය. එහෙත් විළිලැජ්ජා නැතිකම පරාජය කිරීම කොටි පරදනවාටත් වඩා අසීරු බව හමුදාපතිවරයාටද වැටහෙන්නට ඇත. දැන් නැවතත් ඒ නරිනාටකය රඟදක්වමින් තිබේ. කොටියා පැරදුවා යයි ඔල්වරසන් දුන් අයම කොටියා සොහොනෙන් එළියට ගනිමින් සිටිති.

අනේ කාලේ!

වනේ වාසේ!

මාතෘකා